රන්ජන් ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Court Ranjan Ramanake
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

එම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, සහ නීතිපතිවරයා නම්කර ඇති සඳහන් වේ.

නීතිඥ දිනේෂ් විදානපතිරන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති එම පෙත්සමෙන් රන්ජන් රාමනායක මහතා කියා ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කළ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 12 වනදා බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු බවය.

ඉන් අනතුරුව තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතයක් ඉදිරිපත් කර ඇතැයි ඉකුත් 19 වනදා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා පළකර තිබු බවද ඔහු පවසයි.

එහෙත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙතෙක් පියවර ගෙන නොමැති බවට තමන්ට විශ්වාසදායි ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවද රන්ජන් රාමනායක සිය පෙත්සමේ සඳහන් කර ඇති බව වාර්තා වේ.