රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන....

Health Sri Lanka
By Thaya Mar 09, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙලේ දී විදෙස් සංචාරකයින් පැමිණීම වැඩිවීමත් සමග කොවිඩ් වෛරසයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුලිකත්වය දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපල නැවැත විවෘත කිරීමත් සමග මේ දක්වා සංචාරකයින් 6000 ක් පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා වන කරුණූ 08 ක් පිළිබද අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා වූ අතර, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා විදේශීය සංචාරකයින්ගේ විශාල ඉල්ලුමක් තිබෙන බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සහ හෝටලයට අනුයුක්ත වෛද්‍යවරයෙකුගේ සහභාගීත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කර දෙන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටින ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පෙන්වා දෙන ලද්දේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා සංචාරක කටයුතු අමාත්‍යාංශය ගනු ලබන පියවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට හා නිර්ණායකයන්ට ප්‍රමුඛත්වය ලබා දී එයට අනුගත වෙමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ගත යුතු බවයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා ජයරත්න යන මහත්ම මහත්මීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු නියෝජිතයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.