ජනාධිපතිවරයාගේ ප්‍රකාශය යුද චෝදනා ඔප්පු කිරීමක් ? - හිමි නමක් අනතුරු අඟවයි

President
By Thaya Jan 13, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බව බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතම ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින් කරන ලද තර්ජනාත්මක ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව හා සේනාධි නායකයා යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂියක් බවයි පෙන්වා දී ඇත්තේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රි වරයෙකු වු හරින් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිගේ මුල් නම සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට කෝපාන්විත ප්‍රතිචාරයක් දක්වමින් ජනාධිපතිවරයා, අම්පාරේ පැවති උත්සවයකදී පසුගියදා පවසා තිබුනේ ආරක්‍ෂක ලේකම් ලෙස තමන් කටයුතු කරන සමයේ පිත්තල හන්දියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් වැඩ ඇරඹු පසු ඔහුට ප්‍රතිචාර දැක්වු ආකාරයට කටයුතු කිරීමේ හැකියාව තවදුරටත් තමන් සතු බවයි.

"හැබැයි ඉතින් මමත් ඒක ඉවර කලේ අන්තිමට අර බල්ලෙක් වගේ හතරගාතෙන් දාලා නන්දිකඩාල් කලපුවේ උස්සාගෙන ආවා. ඒ තත්වයට ගේන්නත් පුළුවන්. ඉතින් ඕන දෙයකට සුදානම්, පුළුවන් චරිතයක්"

එවැනි ආකාරයෙන් දේශපාලනඥයන් වෙනුවෙන්ද කටයුතු කළ හැකි බවට ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය රටේ ජනාධිපති වරයා වශයෙන් “නැති ප්‍රශ්න කැඳවා ගැනීමක්” බවයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් පවසන්නේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විදේශීය භාෂාවන්ට පරිවර්තනය වූවහොත් ඇතිවිය හැකි අනතුර ද බුදුගල ජිනවංස හිමියන් පෙන්වා දී තිබේ.

"මෙම ප්‍රකාශය මානව හිමිකම් කොමිෂමට අප රටේ ත්‍රිවිධ හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදු කලා යයි කියන චෝදනාවට ප්‍රබල සාක්ෂියකි. අපේ ජනාධිපති තුමා අයි.ටි තාක්ෂණය හදාරපු කෙනෙකි. මෙවැනි දේ අද ඕනෑම භාෂාවකට පරිවර්ථනය කළ හැකි බව දනියි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසට ජනාධිපති තුමා කළ කතාව ඉදිරිපත් කළ හොත් නැති ප්‍රශ්න කැදවා ගැනීමකි. දෙමළ ඩයස්පොරාවට තවත් වස්තු බිජයක් වන්නා සේම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් යුද අපරාධ කළා යැයි ත්‍රිවිධ හමුදාවට එල්ල කළ චෝදනාව ඔප්පු කරගත හැකි සාක්ෂියකි."

නොඑසේනම් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාව තවදුරටත් අපහසු තාවයට පත් වීමේ අනතුර බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.