එන්නත්කරණය කඩිනම් කරන්න – ජනපති ඇමතිනියට උපදෙස් දෙයි

president vaccination Prasanna ranathunga Pavithra vanniarachchi
By Sewvandhi May 11, 2021 01:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් සහ කඩිනම් අයුරින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ඊයේ (10) පැවැති කැබිනට් හමුවේදී උපදෙස් දී තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆොම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් දෙන ලෙසට තමා චීන රජයෙන් ඉල්ලීමක් කළ බවත්, එම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඉදිරි දිනවලදී මෙරටට ලැබෙනු ඇති බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පැවසූ බව රජයේ ආරංචි මාර්ගයක් හෙළි කළේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජයක් වශයෙන් ක්‍රියාමාර්ග ගනු ලබන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත පමණක් බව පවසා ඇති ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශයේ උපදෙස් නොතකා කටයුතු කිරීමට රජය සූදානම් නැති බවත් පවසා ඇත.

සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ට කොවිඩ් මර්දන එන්නත් දීමේ අවශ්‍යතාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දී ඇති අතර, ක්ෂේත්‍ර නිලධාරීන් හැකි ඉක්මනින් එන්නත්කරණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසූ බව එම ආරංචි මාර්ගය පැවසීය.

කොවිඩ් මර්දනයට ඇති එකම විසඳුම එන්නත්කරණය පමණක් බවත්, හැකි ඉක්මනින් සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත දීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now