වතු කම්කරුවන්ට රුපියල් දහසේ දීමනාට ලබාදීමට වතු සමාගම් සුදානම්...

Plantation
By Thaya Jan 16, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

රජය ගෙන ඇති තීරණයට අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවීමේ තීරණයට අපහසුවෙන් හෝ තම සමාගම් සූදානම් බවත්, එම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය සකස් කිරීමේදී දැනට මූලික වැටුප රුපියල් හත්සීයක් ලෙසත් අතිරේක දීමනා ලෙස රුපියල් 300ක් වශයෙන් එම රුපියල් 1000 ගෙවීමට වතු සමාගම් 22 ක සභාපතිවරු එකඟ වු බව කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.

.තවද එම රුපියල් 300 පැමිණීමේ දිරි දීමනාව ,නිෂ්පාදන දිරි දීමනාව සහ කොටස් මිල පරිපූරකයක් (PSS) ලෙස ගෙවීමට වතු සමාගම් එකඟ බව ද මෙහිදී අමාත්‍යවරයාට පැවසීය.එකී වැටුප් ක්‍රමවේදයට වෘත්තීය සමිති එකඟ වන්නේ නම් සාමූහික ගිවිසුමට ඇතුළත්වීමට තමන් සූදානම් බවත්, එම සාමූහික ගිවිසුම වසර හතරක් සඳහා අත්සන් කළ යුතු බවත් වතු සමාගම් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ වතු කම්කරු ප්‍රජාව සඳහා රුපියල් දහසක වැටුපක් ලබාදීම පිළිබඳව අද(15) වතු සමාගම් සභාපති වරු සහ ඉහළ කළමනාකාරිත්වය නියෝජිතයන් සමඟ කම්කරු ඇමතිවරයා සමග එම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදීය.

මෙහිදී මූලික වශයෙන්ම වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර සාමූහික ගිවිසුමක් ඇතිකර ගැනීමේ සඳහා වන අවස්ථාවක් සලසා ගැනීමටද උත්සාහයක් දැරීය..

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වතු කම්කරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 700 වැටුප වැටුප අවම වශයෙන් රුපියල් 725 ක් දක්වා වැඩි කළ යුතු බවත්, ඉතිරි රුපියල් 275 සෙසු දිරිදීමනා වශයෙන් ලබා ගැනීමට තමන් කැමති බවත් වතු කම්කරු වෘත්තිය සමිති ප්‍රකාශ කළ බවය.එසේම සාමූහික ගිවිසුමේ උපරිම කාලය වසර දෙකහමාරක් විය යුතු බවය.දෙපාර්ශවයේ ස්ථාවරයන් හි පවත්නා පරස්පර තාවය නිසා සාමූහික ගිවිසුමකට ඇතුළත් වීමට නීතිමය අවකාශයක් නොමැති බවය.

මේ පිළිබඳව වතු වෘත්තිය සමිති නායකයන් සමග තවදුරටත් සාකච්ඡා කරමින් සාමූහික ගිවිසුමට ඇතුළත් වීමට එකඟතාවයක් ලබා ගැනීමට උත්සාහ දරන බවත්, එසේ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් පඩිපාලක සභා පනත යටතේ තමන් සතු බලතල පාවිච්චි කරමින් වතු කම්කරුවන් සඳහා වන අවම වැටුප නියම කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලිව පෙන්වා දුන්නේය.

එහි දි වතු සමාගම් සභාපතිවරු පෙන්වා දුන්නේ,ඉන්දියාව කෙන්යාව වැනි රටවල විශාල වශයෙන් තේ නිෂ්පාදනය කරන බවත් ඔවුන් කම්කරු වැටුප් අඩු මට්ටමක පවත්වා ගෙන යන බවත් ඒ රටවල නිෂ්පාදන ඉලක්කයන් ඉහළ මට්ටමක ඇති බවත්ය.එම නිසා එම ජාත්‍යන්තර වෙළඳපොල තුළ තරගකාරී ලෙස තේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදනය දිරිමත් නොකරන වැටුප් ක්‍රමයක් තුලින්,එම තරගකාරි වෙළෙඳපොළට මුහුණදිය නොහැකි තත්වයක් උදාවී මෙරට තේ කර්මාන්තය අඩාල විය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

පඩිපාලක සභා පනත මගින් මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැනට ඉදිරිපත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා හාම්පුතුන්ගේ සම්මේලනය මගින් ඉදිරිපත් කරනු ලබන කරුණු ද ඉදිරි අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවත්,වතු කම්කරුවන් සඳහා රුපියල් දහසක වැටුප ලබාදීම සඳහා අනිවාර්යෙන්ම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අමත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති හාම්පුතුන්ගේ සම්මේලනය අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල සහ රංජිත් පන්ඩිතගේ ඇතුළු වැවිලි සමාගම් සභාපති වරු ද ප්‍රධාන විධායක නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.