කොවිඩ් මරණයක් යළි PCR පරීක්ෂණයකට ලක් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Covid-19
By Thaya Feb 15, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ආසාදිතයකු වී මියගිය බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් අනිද්දා දිනයේදී කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබෙනවා. එදින තෙක් අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස ද අභියාචනාධිකරණය විසින් එම වගඋත්තරකරුවන් දෙදෙනාට නියෝග කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කලේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පෙත්සම්කරු සඳහන් කරන්නේ තම පුත්‍රයා වන 26 හැවිරිදි අයෙකු පසුගිය මස 31 වනදා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කල බවද පෙත්සම්කරු සඳහන් කරනවා. කෙසේවෙතත් තම පුත්‍රයා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද? යන්න නිශ්චිතව තහවුරුකර ගැනීමට අවශ්‍ය බැවින් නැවතත් පී සී ආර් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ. එම පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කලා.