මහා ව්‍යසනයකට ලක්කිරීමට තිබු පල්ලෙබැද්ද කොස්වැටිය කන්දේ නීති විරෝධී කැල්සයිට් නිධිය පවත්වාගෙන ගිය පුද්ගලයින්ට සිදුවු දේ ?

Illegal Calcite
By Thaya Jan 15, 2021 11:41 AM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ භු කම්පන සිදුවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව බලංගොඩ ප්‍රදේශයේ පොළව යට සිදු කෙරෙන ඇතැම් ගැඹුරු කැණීම් හා වෙඩි බෙහෙත් යොදා සිදු කරන පිපිරවීම් භූ කම්පනයකට හේතුවිය හැකි බව පෙන්වා දී තිබේ.

ඒ අනුව බලංගොඩ ප්‍ර දේශයේ එවැනි කැණීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගත්තේය.

එහිදී දැවැන්ත විනාශයකට හේතුවීමට ඉඩ තිබු පල්ලෙබැද්ද, කොස්වැටිය කන්ද නීති විරෝධී කැල්සයිට් නිධිය කැණීම් කටයුතු කරමින් සිටි සියලුම පිරිස හා උපකරණ අත්අඩංගුවට ගැනීමට පසුගියදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හැකි විය.

මෙම කැණීම් කටයුතු එම කන්දේ මීටර් 150ක් පමණ පළලට හා මීටර් 80ක් පමණ ගැඹුරට කන්ද අභ්‍යන්තරයට සිදු කර තිබු අතර වැටලීම සිදුවන විටත් එම කැණීම් සිදු කරමින් තිබු දැවැන්ත කුහරය තුළ මිනිසුන් 20ක් පමණ හා ටිපර් රථ හා ට්‍රැක්ටර් රථ ද කැල්සයිට් පටවමින් තිබි ඇත.

එමෙන්ම ජෙනරේටරයක් මගින් බල උත්පාදනය කර තිබු බවත්, අධිබල පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් මෙම ජෙනරේටරය අසළ තිබු අතර කිසියම් ගිනි ගැනීමක් සිදු වුයේ නම් විශාල පුපුරායාමක් සමග මුළු කන්දම පහත්වීමට ඉඩ තිබුනි. එමෙන්ම එමගින් අවට පරිසරයට හා ජනතාවට විශාල බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් ඇතිවීමට හා සමනළ වැවට ද බලපෑමක් එල්ල කළ හැකිව තිබු බව වැටලීම් කණ්ඩායම විසින් තහවුරු කරන ලදැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.

ඒ මහතා ඊයේ පස්වරුවේ මෙම වැටලිම සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කරුණු වාර්තා කළේය. එහිදී ඔහු කියා සිටියේ මෙම කැණිම සිදු කර තිබු ආකාරය දෙස බලන විට වෙඩිබෙහෙත් පුපුරා යාමක් සිදු නොවුනත්, කන්ද අභ්‍යන්තරයේ කැණීම් ස්වභාවය අනුව කන්ද කඩා වැටීමේ අවදානමක් ද තිබු බවයි. එවැනි දැවැන්ත කන්දක් කඩා වැටීමේ දී ඇතිවන පීඩනය නිසා අනිවාර්යෙන්ම බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් පවා සිදුවිය හැකි යැයි ඔහු පෙන්වා දුන්නේය.

මේ අන්දමින්ම ජර්මනියේ සිදු වු කැණීම් නිසා කන්දක් කඩා වැටීමෙන් පසු රිච්ටර් මාපක අංක 5.2 ඉක්මවු භුමිකම්පාවක් වාර්තා වී ඇති බව විශේෂඥ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වුවද මෙම කැනිම් බලපත්‍රය ලබා ගෙන ඇති පුද්ගලයා අදාල කැණීම් සිදු කර තිබෙන්නේ ඔහුට බලපත් ලබා දී තිබු ස්ථානයේ නොවේ. එමනිසා ඔහුගේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත්, බලංගොඩ හා ඒ අවට තවත් එවැනි ස්ථාන තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය. මෙම කැණීම්වලට සම්බන්ධ පුද්ගලයින් සියලු දෙනා හා එම අවස්ථාවේ එහි තිබු වාහන ඇතුළු සියලු උපකරණ ද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු යොදා තිබේ.