මෙරට ජනතාව වසරකදී කෝටි 5,000ක සීනි හා රසකැවලි කයි
වසරක් තුළ මෙරට ජනතාව රුපියල් කෝටි 5,000කට ආසන්න පිටරටින් ගෙන්වන සීනි සහ රසකැවිලි පරිභෝජනය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසරට අදාල නවතම වාර්තාවට අනුවයි. 2019 වසරට සාපේක්ෂව ඉකුත් 2020 වසරේදී මෙරටට ආනයනය කළ බොහෝ භාණ්ඩ වර්ගවල ආනයන වියදම් සැලකිය යුතු ලෙස අඩු වුව ද සීනි හා රසකැවිලි ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 75.9 කින්. විදේශ රටවලින් සීනි හා රසකැවිලි මෙරටට ගෙන්වීම සඳහා 2019 වසරේදී වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 201.2 ක්. එහෙත් එම මුදල ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 277.1 ක් දක්වා වැඩි වී ඇති බවයි මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 50,000කට අධිකයි. එම වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 37.7 ක්.
කෙසේ වෙතත්, ඉන්ධන ආනයන වියදම 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. 2019 වසරේදී බොරතෙල්, පිරිපහදු කළ ඛනිජතෙල් හා ගල් අඟුරු මෙරටට ගෙන්වීම සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3,891.6 ක්. එය ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2,541.6 ක් දක්වා සියයට 34.7 කින් අඩු වී තිබෙනවා. පෞද්ගලික රථවාහන ආනයනය 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී සියයට 65 කින් අඩු වී තිබීම ද විශේෂත්වයක්. 2019 වසරේදී පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 815.7 ක් වැය කර ඇති අතර එය 2020 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 282.9 ක් දක්වා අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් පවසන්නේ මේ වන විට රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ ත්තත්වය හැඩගැසී නොමැති බවයි. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පැවසුවා. 2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට සිදුකරන ලද පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 0.5 ක්. එය 2019 දෙසැම්බර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 83.9 හා සැසඳීමේ දී සියයට 99.5 ක අඩුවීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් පවසන්නේ පැවසුවේ.