සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ආසාධිතයින් ගණන 474 ක් දක්වා ඉහළට

Covid-19
By Thaya Mar 21, 2021 06:43 PM GMT
Thaya

Thaya

Report

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. වසර 03 කට වරක් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිදුකරනු ලබන පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ ක්‍රියාවලියක් මේ දිනවල සිදුකරනු ලබන බවත් එහිදී මෙලෙස සේවකයින් අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ." ඉන්ධන පිරිපහදුවේ සිදුකරනු ලබන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනට සේවයේ යෙදී සිටින සේවකයින් ප්‍රමාණවත් නොවන නිසා අමතර සේවකයින් 400 දෙනෙක් තාවකාලිකව බඳවා ගැනීම සිදුකරනු ලබනවා. ඒ සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදී තිබෙනවා. නමුත් ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ හරිහැටි අනුගමනය කරලා නැහැයි කියල දැන් හෙළිවෙලා තියෙනවා. අපි දැනුම් දුන්නා සේවයට බඳවා ගන්නා තාවකාලික සේවකයින් PCR පරීක්ෂණයකට ලක් කරලා දින 14ක් නිරෝධායනය කරලා සේවයට බඳවා ගැනීම සිදුකරන්න කියලා, නමුත් එහෙම කරලා නැහැ. අන්ටිජන් පරීක්ෂණ කරලා තමයි සේවයට බඳවා ගෙන තියෙන්නේ. එතනින් තිදෙනෙක් යවලා තියෙනවා. ඉතිරි අය සේවයට යොදවලා තියෙනවා. පසුව තවත් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට නිසි දැනුම් දීමක් සිදුකරලා තිබුනේ නැහැ.පසුව ඉන්ධන පිරිපහදුවේ සේවය කරනු ලබන සේවකයින් ගෙන් ලද තොරතුරු අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉන්ධන පිරිපහදුවට ගිහිල්ලා සිදුකරපු ඇන්ටිජන් පරීක්ෂණ වලින් තවත් ආසාදිතයින් 20 දෙනෙකු හොයා ගෙන තිබෙනවා.ඒ අනුව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවය කරනු ලබන සේවකයින් 1200 කගේ PCR පරීක්ෂණ සිදුකරන්න පසුගියදා කටයුතු කළා. ඒ පරීක්ෂණ වලින් මේ දක්වා ලැබී තියෙන ප්‍රථිපල අනුව මේ වන විට ආසාදිතයින් 474 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. තවත් වාර්තා 170ක් පමණ ලැබෙන්න තියෙනවා. වාර්තා වූ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරමින් සිටිනවා වගේම ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. දැනට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවා කටයුතු සිදුකරගෙන යාමට ආසාදිතයින් නොවන බවට තහවුරු වූ සේවකයින් 200ක් යොදවා සිටිනවා. ඔවුන්ට නිවෙස් වෙත යාම සම්පුර්ණයෙන් තහනම් කරලයි තියෙන්නේ. ඔවුන් සේවය නිමකරලා දින 14ක නිරෝධායන කාලයකින් පසුවයි නිවෙස් වෙත යාමට අවසරය හිමිවන්නේ. මේක සියලුම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවා ස්ථානවලට හොද පාඩමක් වෙනවා. මන්ද කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ලබාදී තිබෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කළා නම් අද මේ වැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.