කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නෑ

Colombo Port
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Report

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර බෝවන රෝග පිළිබද උපදේශක කාරක සභාව විසින් අවසර දුන් වහා කොරෝනා එන්නතක් හෝ එන්නත් වර්ග කිහිපයක් කඩිනමින් මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරිය මේ බව දැනුම් දුන්නේ.

මේ අතර විදේශ ණය ගෙවීමේ බරපතල අර්බුදයකට රට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා කියා සිටියේ විදෙස් ණය ගැනීමට වෙනුවට දේශීය වශයෙන් රජයට ණය සපයා ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට රජය තීරණය කර ඇති බවයි.