පෞද්ගලික අංශයෙන් වැඩි ආසාදිතයින් වාර්තා වීමෙන් එන්නත් ගෙන්වීමට නව ක්‍රමයක්!!!...

Covid-19
By Thaya Mar 18, 2021 05:56 PM GMT
Report

පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් ඇති බවත් එන්නත් ලබාදීම සඳහා මීළඟ ප්‍රමුඛතාව වියයුත්තේ වැඩකරන ජනතාව බවත් ඔහු පවසයි.

"ලංකාවේ කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවල වාර්තා වෙනවා. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව. එන්නත් ලබාදීම සඳහා අපේ මීළඟ ප්‍රමුඛතාව විය යුත්තේ වැඩකරන ජනතාව. ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් මේ එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබාදීම සිදුකළ යුතුයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නෑ."