කොරෝනා මර්ධන එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 2 කට ආසන්න වෙයි.

Covid-19 Covid Vaccine
By Thaya Feb 14, 2021 04:43 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා මර්දන එන්නත් ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 186,654 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , එම එන්නත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ත්‍රිවිධ හාමුදා හා පොලිස් නිලධාරීන්ට ලබා දුන් බවයි. අද දිනයේත් දිවයිනේ රෝහල් රැසක එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 796 ක් හඳුනා ගැනිණි. ඔවුන් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය. මේ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74,852 දක්වා ඉහළ ගියේ ය.

වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6637 කි. රෝගීන් 847 දෙනෙකු ඊයේ සුවය ලැබුවේ ය. ඒ සමග මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 67831 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. තවත් පුද්ගලයින් 6 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) වාර්තා කළේ ය. ඒ අතරින් තිදෙනෙකු කාන්තාවන් ය. 83, 70, 77, 46, 69 සහ 53 හැවිරිදි ඔවුන් බණ්ඩාරගම, හබරාදූව, නිට්ටඹුව, මීගමුව, මහනුවර සහ නාරාංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මේ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 390 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.