රංගජීවට වෙඩි තියන්න ඔත්තු බැලූ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සංවිධානාත්මක ලෙස වෙඩි තැබීම සඳහා ඔත්තු සැපයූ සැකකරු වන මොහොමඩ් මායිල් මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලිසිය වෙත නිල වශයෙන් ඊයේ (10) දැනුම් දී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. වර්ෂ 2017 වසරේ මැයි 9 වෙනි දින මෙම වෙඩි තැබීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගිය අතර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තුවාල ලැබුවේය.ඊට අමතරව කුඩා දරු තිදෙනෙක් ද තුවාල ලැබූ අතර දින කීපයකට පසු එම තිදෙනාගෙන් 11 හැවිරිදි දැරියක් ද මියගියාය.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී මෙම සැකකරු පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු සපයා ඇතැයි ද සිද්ධියෙන් අනතුරුව ඉන්දියාවට පලාගොස් තිබූ බවට අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාවේ මදුරෙයි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවා තබා ඇතැයි ද මෙම පුද්ගලයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බවත් එම මත්ද්‍රව්‍ය වරදට අදාළව කරුණු විමර්ශනය කෙරෙමින් පවතින බව ඉන්දීය ජාත්‍යන්තර පොලිසිය දන්වා තිබෙන්නේ යැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වෙඩි තැබීමේ සිද්ධියට අමතරව මීට පෙර ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙන නඩුවක් විභාග වෙමින් පවතින බවත් ඒ අනුව අදාළ උදර්පණ නීතින් මෙන්ම අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ඔස්සේ මේ තැනැත්තා ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීසිය බලාපොරොත්තු වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. එම සැකකරු කොච්චිකඩේ පෝරුතොට පදිංචිකරුවෙකු ලෙස සහ වැල්ලම්පිටිය වෙන්නවත්ත ලිපිනයක පදිංචිකරුවකු ලෙස සඳහන්ව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.