මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න
එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
අදාළ සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙවැනි දැනුම්දීමක් නොමැති තත්ත්වයක පසුබිමක විවිධ චෝදනා ප්‍රචාරය වීම ගැටලුකාරී බවයි.
තවද, වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලබාදීමට නියමිත අධිකරණ තීන්දුවලට අදාළව පූර්ව අදහස් ප්‍රකාශ කිරීම, අධිකරණයට අපහාසයක් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑමක් ලෙසද එම නිවේදනයේ පෙන්වා දී ඇත.
අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළද, වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කර ඇත.
අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය ලබා නොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳවද ස්වාධීනව පරීක්ෂණ පවත්වන්න ලෙසත් අදාළ නිවේදනය මඟින් සඳහන් කර තිබේ.
එමෙන්ම රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බවත්, අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් අදාළ නිවේදනයේ දක්වා ඇත.