පරිසර හානි සිදු කරන්නන්ට නීතිමය පියවර ....

Enviroment
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

මෙම රජය යටතේ දැවැන්ත වන විනාශයක් හා පරිසර විනාශයක් සිදුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙන යනවා. ජනාධීපතිතුමන් සහභාගි වන “ගම සමග පිළීසඳර” වැඩ සටහනේ දී අහිංසකයින් ගොවියන් ඔවුන් වගා කළ සමහර අනවසර ඉඩම් යළි වගා කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීම් කරනවා. එවැනි අවස්ථාවල ජනාධීපතිතුමා උපදෙස් දී තිබෙන්නේ එවැනි අහිංසක ගොවින්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් ඊට ඉඩ සලසන ලෙසයි. ඒ වගේම සමහර පුද්ගලයින් නීත්‍යානුකූලව ඔවුන් සතුව පැවැති එහෙත් මෙතෙක් වගා නොකළ ඉඩම් නැවත වගා කිරීමට කටයුතු කර තිබෙනවා. මම දන්න විදියට සමහර විට අක්කර 10,15 වැනි විශාල ඉඩම් ඔවුන් සුද්ද කර බඩඉරිගු වගා කිරීමට කටයුතු කර තිබෙනවා. එවැනි අවස්ථාත් ඇතැම් සමාජ මාධ්‍ය මගින් වන විනාශයන් ලෙස හුවා දක්වන නමුත් එහි සත්‍යතාවයක් නැහැ.

පෙරේදා ජනාධීපතිතුමාට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වැලි, කළුගල්, පස් හා මැටි සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් ලබා දුන්නා. ඒ සම්බන්ධව ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළා. නමුත් එතුමාත් මට කිව්වේ තමන් කිසිවිටෙක පරිසරය විනාශ කරමින් වගා කරන්න හෝ සංවර්ධන කටයුතු සිදු කරන්නට උපදෙස් දී නැහැ කියායි. නමුත් පැහැදිළිවම මාධ්‍ය විසින් හෙළි කරන ඇතැම් පරිසර විනාශයන් හි සත්‍යතාවයක් තිබෙනවා. ඒවා සිදු වන්නේ රජයේ අනුදැනුමකින් හෝ රජය දුන් උපදෙස් මත නොවෙයි. ඒවා සිදු කරන්නේ සමහර ජාවාරම්කරුවන් විසින්. ඒ සඳහා සමහර ප්‍රාදේශීය දේශපාලනඥයිනුත් හවුල් වී ඇති බව පෙනෙනවා. නමුත් අසත්‍ය කරුණු විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම මත ඇත්ත සිදුවීම් වැසී යනවා. ඒක හොඳ තත්ත්වයක් නොවන බව මම ජනාධිපතිතුමන්ට පෙන්වා දුන්නා. එතුමා ප්‍රකාශ කළේ පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබළා දඩුවම් ලබා දෙන ලෙස අදාල සියලු අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පවසා සිටියේ ඊයේ ( 11) පරිසර අමාත්‍යාංශයේ දී පරිසර මාධ්‍යවේදීන් පිරිසක් හා පරිසර වේදීන් පිරිසක් හමු වෙමින් සිදු කළ සාකච්ඡාවක දීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පරිසරය රැක ගැනීම සඳහා රජය ලබා දුන් ප්‍රතිඥා කිසි විටෙක බැහැර කරමින් කටයුතු නොකරණ බවත්, ඇතැම් පාරිසරික හානි සිදුවීම් පසුපස දේශපාලනඥයින් මෙන්ම නිලධාරින්ද සිටින බව අවධාරණය කළේය. මුතුරාජවෙළ තෙත් බිම ගොඩ කිරීම සඳහා කොළඹ සිට ප්‍රවාහණය කරමින් තිබු ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය සහිත ටිපර් රථ 05ක් අත්අඩංගුවට ගැනීමට බෝපිටිය පොලිසියට තමන් උපදෙස් දුන්නත්, එහි ඉහළ නිලධාරියෙක් ඒ සඳහා පියවර නොගත් බවත්, පසුව හෙළිදරව් වු කාරණා අනුව එම නිලධාරියා ඊට සම්බන්ධ බවට තොරතුරු තමන්ට ලැබුනු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් පරිසර හානි වළක්වා ගැනීමට නිලධාරින්ට හැකියාව තිබුනත් ක්‍රියාත්මක වී නැහැ. දිස්ත්‍රික්කයක් ගත හොත් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරින්, පරිසර නිලධාරින්, භූ විද්‍යා නිලධාරින්, සංවර්ධන නිලධාරින්, අඩවි වන නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් ඇතුළු විශාල නිලධාරි ජාලයක් සිටිනවා. නමුත් සමහරක් තමන්ගේ රාජකාරි වගකීම ඉටු නොකරණ නිසා අවසාන වශයෙන් විවේචනයට ලක් වන්නේ ජනාධීපතිතුමා හා රජය බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමනිසා ඇතැම් ස්ථානවල සිදුවන ඉඩම් වගාව සඳහා හෙළි පෙහෙළි කිරීම කිසිසේත්ම වනවිනාශයක් හෝ පරිසර විනාශයක් නොවන අතර, පරිසර හානි ඇතැම් ජාවාරම්කරුවන් හා රජයේ ඇතැම් නිලධාරින්ගේ මැදිහත්වීමන් සිදුවන බවත්, එවැනි පුද්ගලයින් විශාල පිරිසකට නීතිමය පියවර මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.