පරිසර විනාශ කළ 300 කට නිතිය තදින් ...
පරිසර විනාශ කිරීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 300කට අධික පිරිසකට මේ වනවිට රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (24) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි. පරිසර විනාශයන් සිදු වී යැයි පළ කෙරෙන ප්‍රවෘත්ති සම්බන්ධව අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය. පරිසර හානි සිදුවන බවට ඇතැම් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වීම නිසා සත්‍ය තොරතුරු යටපත් වන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන ඇතැම් තොරතුරු හිතාමතා ජනතාව නොමග යැවීම සඳහා ගන්නා උත්සාහයන් බව පෙනී යන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසුවේය.
පරිසර හානි කිරීම් වර්තමානයේ සිදු නොවේ යැයි කවුරුන් හෝ කියන්නේ නම් තමන් එය පිළි නොගන්නා බව කී අමාත්‍යවරයා පාර්ශ්ව කිහිපයක් විසින් පරිසර හානි කිරීම් සිදු කරමින් පවතින බව සඳහන් කළේය. විශේෂයෙන් ජාවාරම්කරුවන්, ඇතැම් රජයේ නිලධාරින් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් ද මෙම පරිසර හානිය පසුපස සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙවැනි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට රජය කටයුතු කර ඇති අතර ආනවිලුන්දාව කඩොලාන පද්ධතියට හානි කිරිමේ සිට මේ දක්වා පුද්ගලයින් 300කට අධීක පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. එමෙන්ම ජනාධීපතිතුමන් විසින් ආරක්ෂක ලේකම්හට පරිසරයට හානි කරවන පුද්ගලයින්ට එරෙහිව තදින්ම කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව මේ වනවිට විශේෂ කාර්ය බලකාය පවා එම වැටලීම් සඳහා යොදවා ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
පරිසර අමාත්‍යවරයා වශයෙන් තමන්ට නඩු පැවරීමට හෝ බලයක් නොමැති වුවත්, පරිසර හානි කිරීම් සම්බන්ධව තමන් කතා කරන්නේ අමාත්‍යවරයෙක් වශයෙන් තමන්ට ඒ සඳහා වගකීමක් පවතින නිසා බවත් සඳහන් කළේය.
සමාජ මාධ්‍ය තුළ පළ වන පරිසර හානි පිළිබඳ ඇතැම් ඡායාරූප මෙරට ඒවා නොවේ. ඒ සම්බන්ධව ඔප්පු කළ කාරණා රැසක් පරිසර අමාත්‍යාංශය සතුව පවතී. නමුත් රජය වශයෙන් කිසිදු ආකාරයකින් මාධ්‍යයට එරෙහිව කටයුතු නොකිරීම රජයේ පිළීවෙතයි. නමුත් වගකීමක් සහිතව කටයුතු කිරීම මාධ්‍යයේ වගකීමකි.පරිසරය සම්බන්ධව කටයුතු කරන පාර්ශ්ව කිහිපයක් අපේ රටේ සිටිති. එක් කොටසක් පරිසර විශේෂඥයෝය.දෙවැනි පාර්ශ්වය පරිසර වේදීහුය. ඔවුන් විසින් පරිසරයට අදාල කරුණු ජනගත කරති. අනෙක් පාර්ශ්වය පරිසර ලෝලීහුය. ඔවුන් පරිසරය ගැන නොදන්නා නමුත් පරිසරයට ආදරය කරති. මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ පළ කිරීමේ කාර්යභාරයේ කොටසක් සිදු කරන්නේ ඔවුන් විසිනි.
එමෙන්ම තවත් පාර්ශ්වයක් සිටිති. ඔවුන් වන්නේ පරිසරයට ආදරය නොකරන, පරිසර ගැන නොදන්නා නමුත් තමන්ගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් කඩේ යන සමාජය ඇවිස්සීමට වෙර දරණ පිරිසකි. අද ක්‍රියාත්මක ව සිටින්නේ ඔවුන් බවත්, ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයට පහර එල්ල කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වී සිටින්නේ ඔවුන් බවත් අමාත්‍යවරයා කීය. කෙසේවුවත් පරිසර හානියක් සිදුවන බව තමන් පිළිගන්නා බවද එහෙත් ඊට රජයේ මැදිහත්වීමක් නොමැතිබවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙහිදී අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද අසත්‍ය තොරතුරු රැසක් මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් කළේය.