රාජ්‍ය ඇමතිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ්

Covid-19
By Thaya Jan 11, 2021 08:13 AM GMT
Thaya

Thaya

Report

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවය.

රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.

මේ අතර, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඊයේ (08) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේය.

බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ අංක 7 හා 9 වාට්ටුවලට ඇතුළත් කළ රෝගීන් පස්දෙනෙකු ඒ අතරට අයත්ය.

මේ අතර, වවුනියාව නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමග වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලිය සහ වවුනියාව බසාර් වීදිය,ධර්මලිංගම් මාවත සහ මාර්කට් පෙදෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් බහුතරයක් මෙම ප්‍රදේශවල පිහිටි වෙළෙඳසැල්වල සේවය කළ අයයි.

ආසාදිතයින් වවුනියාව පට්ටානිච්චූර්,නෙළුක්කුලම,නෙඩුන්කේනි,තිරුනාවට්කුලම හා වෙල්ලිකුලම යන ප්‍රදේශ රැසක සංචරණය කර තිබීම හේතුවෙන් ආශ්‍රිතයින් සොයා ගැනීම අසීරු වී තිබේ