ජනපති සහ අගමැතිටත් කොවිඩ් එන්නත ලබා ගනියි

Covid-19 Corona Vaccine
By Thaya Feb 23, 2021 05:18 PM GMT
Thaya

Thaya

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ අතර විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වූ බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී මාධ්‍යවේදියෙකු විමසා සිටියා. එහිදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කලේ විපක්ෂය විසින් මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භයේ සිටම දිගින් දිගටම විවිධ මත පතුරුවන බවයි.

මෙහිදී ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය හට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කෙරුණා. එහිදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ විපක්ෂය විසින් එන්නත සම්බන්ධයෙන් ජනතාව තුල ඇතිකරන ලද බිය පහ කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කරවීම සඳහා සනත් ජයසුරිය ඇතුළු රටේ දේශපාලන ප්‍රධානින් සහ සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් එන්නත ලබාගැනීම සිදුකරනු ලැබූ බවයි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් ඇතුළු ලොව පුරා රටවල්වල රාජ්‍ය නායකයින් සහ ජනප්‍රිය පුද්ගලයින් කොවිඩ් එන්නත ලබා ගත්තේ මේ හේතුවෙන් බවද අමාත්‍යවරය පෙන්වා දුන්නා.