කොවිඩ් දේහ භූමදානය රජයේ වියදමෙන්

Covid-19 Government
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා රජයේ පුර්ණ වියදමින් මෘත දේහ එම දූපත වෙත ගෙනයන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට වයඹ දෙසින් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති ඉරණතිව් දූපතේ ස්ථානයක් කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා තෝරාගත් බව අද (02) කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණ විය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරන්චි හි සිට කිලෝමීටර 9.5 ක පමණ දුරින් පිහිටා ඇති ඉරණතිව් දූපත වර්ග කිලෝමීටර 6ක පමණ භූමි ප්‍රදේශයකට හිමිකම් කියන අතර ධීවර ප්‍රජාව වාසය කරන ඉතා කුඩා ජනගහණයක් සහිත ප්‍රදේශයකි.

කොවිඩ් මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ අධ්‍යයන අංශයේ වාර්තාවක් උපුටා දක්වමින් ඊයේ අදහස් පළ කරමින් පවසා සිටියේ, “දෙමටගොඩ කුප්පියාවත්ත සුසාන භූමියේ භූගත ජල මට්ටම මීටර 2.5කට පහළ කියලා. මහාචාර්ය අතුල සේනාරත්න මහතා තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. තවත් මොනව ද හොයන්නේ?“ යනුවෙනි. ඒ පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා අද කරුණු පැහැදිලි කළේ මෙලෙසිනි.

“කුප්පියාවත්ත සුසාන භූමියේ ජල මට්ටම කොපමණ පහළින් ද තියෙන්නේ කියලා අධ්‍යයනයක් කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. මම ඒ අධ්‍යයනය කරා. එහිදී අපිට දැනගන්න ලැබුණා වළේ පතුලයි ජල තලයයි අතර මීටර 2.5ක ගැඹුරින් වතුර තියෙනවා නම් ඒ කියන්නේ අඩි එකහමාරක් විතර. වැලි සහිත ලොම් පසේ මේ ද්‍රව්‍යයන් ඉතා ඉක්මනින් ගමන්කරනවා පහළට. පැත්තකින් තියෙන ළිඳටත් ඒ ජලයම තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා ඒක සුදුසු නෑ. වියළි කලාපයේ වැලි සහිත පස නරකම නෑ. නමුත් වැලි සහිත පසට වඩා වියළි කලාපයේ මැටි සහිත පසේ මේ ජිවි ද්‍රව්‍ය අක්‍රීය වෙනවා. ජල තලයට ඇතුළුවීමට පෙර. මැටි සහිත පසක් සහිත භූමියක භූමදානය කරන්න පුළුවන්.“