33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් පත්වෙයි

Elections
By Thaya Mar 02, 2021 06:28 PM GMT
Thaya

Thaya

Report

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණයේදී 2021-2022 වසර සදහා 33 වන සභාපතිවරයා ලෙස නිතරඟයෙන් සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා තේරී පත්විය. මෙසේ කංචන ජයරත්න මහතා නව සභාපතිවරයාලෙස තේරී පත්වුයේ රත්නපුර ක්‍රිකට් සංගයේ 41 වන නිලවරණය පසුගියදා රත්නපුර නිලානී හෝටලයේ පැවැති අවස්ථාවේදීය. මීට පෙර කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා ලෙස වසර 05 කාලයක් කටයුතු කොට ඇත. කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ පසු 2020 වර්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගිහාන් වීරසිංහ මහතා විසින් කංචන ජයරත්න මහතාට සුබපැතුම් එක් කරනු ලැබීය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 2021-2022 කාල සීමාව සදහා වූ නව නිලධාරී මණ්ඩලයද පත්කෙරිණ.එහිදී ලේකම්වරයා ලෙස එරංග ප්‍රසාද් මහතාත්, උප සභාපතිවරුන් ලෙස දමිත් බටවල, කමල් සිසිර කුමාර, අජන්ත සුගතදාස යන මහත්වරුන් සහ උප ලේකම් ලෙස ගයාන් කුඩාගම මහතාත්, භාණ්ඩාගාරික ලෙස එල්මෝ සූරිය ආරච්චි මහතාත් කටයුතු කරනු ඇත.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නව සභාපති කංචන ජයරත්න මහතා අදහස් දක්වමින්, රත්නපුර දිස්ත්‍රික් සභාවේ ක්‍රීඩා සංගම්වල විශාල ඉල්ලීමක් මත නිලවරණයට ඉදිරිපත්වීමට තීරණය කළා. ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙත් සියළු ක්‍රීඩා සමාජ වලත් අභිවෘද්ධිය අරමුණු කොටගෙන ක්‍රීඩා අමාත්‍යතුමාගේත්, ක්‍රීඩා අමාත්‍යාංශයේත් සහයෝගය ඇතිව, දිස්ත්‍රීක්කයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගණය හැකි ඉක්මණින් විවෘත කිරිමට ද පියවර ගනිමින් ඉදිරියේ දී පාසල් ක්‍රීකට් ක්‍රීඩාව මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ද ජාතික කණ්ඩායම් නියෝජනය කිරිමට ක්‍රිඩකයින් පෙළගැස්වීමට තමාට හැකි උපරිමයෙන් ශක්තිය, ධෙර්යය යොදවන බව ද පැවැසීය.

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, උප සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය, ආදි වශයෙන් ක්‍රීඩා සංගම් රැසක ද නව සභාපතිවරයා තනතුරු හොඹවයි.

Gallery