නගරයක කොටසක් සම්පූර්ණයෙන්ම වසා දැමේ

covid19 isolated quarantine piliyandhala
By Sewvandhi May 12, 2021 02:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පිළියන්දල නගරයේ කොටසක් වසා දැමීමට අද (12) සෞඛ්‍ය බලධාරීන් සහ කොළඹ දිස්ත්‍රික් බලධාරීන් පියවර ගනු ලැබීය. පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් කොලමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම් අද (12) උදෑසන සිට හුදකලා කෙරුණි.

එම වසම්වල සීමා පිළියන්දල නගර ප්‍රදේශය දක්වා විහිද ඇති බැවින් නගරයේ කොටසක්ද වසා දැමීමට ඔවුන්ට සිදුවිය. ඒ අනුව පිළියන්දල නගරය හරහා රථ වාහනවලට ගමන් කළ නොහැකිය.

එම ප්‍රදේශය ඇතුළුව දිස්ත්‍රික්ක 06ක ග්‍රාම නිලධාරී වසම් 13ක් අද උදෑසන සිට හුදකලා . මේ අතර අද සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි පොදු ක්‍රියාකාරකම්වල නිරත වියයුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (12) පස්වරුවේ නිකුත්කළේය.

ඒ අනුව:

සෞඛ්‍ය සේවා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් අත්‍යවශ්‍ය සැපයුම් බෙදාහරින්නන් වමංගල්‍යයක් අවස්ථාවල පවුලේ ආසන්නතම සාමාජිකයන්ට විදේශගතවීම්/විදේශයක සිට පැමිණීම ආනයන/අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවාවන්....වැනි සුවිශේෂි අවස්ථාවලදී පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර පවතී.

නමුත් හුදකලා කරන ලද ප්‍රදේශවල පදිංචි අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට රාජකාරී සඳහා වාර්තා කිරීම අනුමත නොකරන බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.

ඊට අමතරව ජනතාව කටයුතු කළ යුත්තේ මතු කියැවෙන සීමාකිරීම්වලට යටත්ව බව එම නිවේදනයේ දැක්වේ.

01. බස් රථයේ හා දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ධාවනයට අවසර හිමිවේ.

02. පෞද්ගලික කුළී රථ සේවා සහ ත්‍රීරෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා වන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමාවේ.

03. විදුලිය/ජලය/තැපැල්/කුරියර් සේවා/ඉන්ධන පිරවුම්හල්/විදුලි සංදේශ/මෝටර් රථ ගරාජ් වැනි උපයෝගිතා සේවා සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමඟ ක්‍රියා කිරීමට අවසරහිමි වන නමුත් හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබාදෙන ලෙස නිර්දේශිත වේ.

04. රජයේ කාර්යාලවල අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව ක්‍රියාත්මකවිය යුතුවේ.

05.පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමඟ ක්‍රියා කිරීමට අවසර හිමිවන නමුත් හැකි සෑමවිටම නිවසේ සිට වැඩ කිරීමට විකපල්පයක් ලබාදිය යුතු වේ.

06. ආයතනවල උපරිමය පුද්ගලයින් 10කට සීමාකොට අත්‍යාවශ්‍ය රැස්වීම් පමණක් පැවැත්වීමට අවසර හිමිවෙයි. කෙසේවෙතත් වැඩමුළු/සම්මන්ත්‍රණ/සන්නාම හඳුන්වාදීම් වැනි අවස්ථා නැවත දැනුම්දෙනතුරු පැවැත්වීමට අවසර හිමි නොවේ.

07 අපනයන අරමුණු කරගත් කර්මාන්ත ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ජෛව ආරක්ෂිත බුබුල යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වියයුතු වන නමුත් බාහිර පුද්ගලයින්ට ඇතුළුවීම තහනම්ය.

08. අධිකරණ/සුපිරි වෙළෙඳසැල්/සාප්පු සංකීර්ණ/මූල්‍ය ආයතන/රෙදිපිළි සාප්පු/සිල්ලර වෙළෙඳසැල් /කඩ/විවෘත පොළවල්/ආර්ථික මධ්‍යස්ථාන/බේකරි/වීදි වෙළෙඳුන්/රූපලාවණ්‍යාගාර/මැහුම්කරුවන්/සන්නිවේදන වෙළෙඳසැල් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%කට පමණක් ඉඩ සැලසිය යුත්තේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවය. ආයතනයට ඇතුළත් කර ගතහැකි පුද්ගලයන් ගණන ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය වේ.

09.ජංගම වෙළෙන්දන්/කෘෂිකර්මාන්තය/ඉන්ධන පිරවුම්හල් සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක විය හැකි නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට තරයේ අනුකූල විය යුතුය.

10.බන්ධනාගාරවල රැඳවූවන් බැලීමට මේ දිනවලදී අමුත්තන්ට අවසර නැත.

11. රජයේ රොහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර සේවාදී ඇති මාර්ගෝපදේශවලට අනුව අවශ්‍ය කාර්ය මණ්ඩලය යටතේ අඛණ්ඩව සේවා සැපයිය හැකිය.

12.දිවා සුරැකුම් මධ්‍යස්ථාන/පෙර පාසල්/පාසල්/උපකාරක පන්ති/විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙනතුරු වසා තැබේ.

13. එමෙන්ම සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ තීර සාද, පබ්, කැසිනෝ, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පා, ව්‍යායාම ශාලා/ගෘහස්ථ ක්‍රීඩා ශාලා ආදියද වසා තැබිය යුතුවේ.

14. මංගල උත්සව නැවත දැනුම්දෙනතුරු පැවැත්වීමට අවසර නැතත් විවාහ ලියාපදිංචි කිරීම පමණක් ළඟම ඥාතීන් උපරිම 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකිය.

15.අවමංගල්‍ය අවස්ථා උපරිම පුද්ගලයින් 15කට සීමාකොට පැය 24ක් ඇතුළත සිදුකළ යුතුය.

16. උත්සව, සාද, එක්රැස්වීම්, නිවෙස් තුළ පැවැත්වෙන සුළු සාද පැවැත්වීමට අවසර හිමිනොවන අතර පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන‍වල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමිවන්නේද නැත.

17. බෝඩිං නිවාස‍ වල ලබාදී ඇති උපදෙස් අනුව පූර්ණ ධාරිතාව සිටිය හැකි නමුත් නව පුද්ගලයින්ට නවාතැන් නොදිය යුතුවේ.

18.. රැඳී සිට ආහාර ගන්නා අවහන්හල්වල වරකට එම ස්ථානයේ සිටිය හැක්කේ ඉඩ ප්‍රමාණයෙන් 25%ක් පමණක් වන අතර එය උපරිම 08 දෙනකුට සීමා විය යුතුයි. ආහාර පිටතට ගෙනයාමට සැපයීම කරන අවහන්හල් සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක විය හැකි නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට තරයේ අනුගත විය යුතුය.

19. මද්‍යසාර අලෙවිසැල් උදෑසන 10සිට රාත්‍රි 6 දක්වා විවෘතව තැබීමට අවසර ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට තරයේ අනුගත විය යුතු බවට නියමකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now