කොරෝනා ආසාදිතව අඩු වයසින් මියගිය වෛද්‍යවරයාගේ සම්පූර්ණ තොරතුරු මෙන්න.

Covid-19
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී මිය ගොස් තිබේ. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.

කොළඹ, නුගේගොඩ ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිවිස තිබුණි. ගයාන් දන්තනාරායන චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය උපාධිය හිමිකරගෙන තිබුණි. සංගීතයට ද කැමැත්තක් දැක් වූ ගයාන් ගිටාර් වාදනයට වැඩි වශයෙන් ප්‍රිය කළේය.

උපාධිය ලබාගෙන ලංකාවට පැමිණි ගයාන් වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කිරීමට අවශ්‍ය විභාගයට මුහුණ දී ඉන් සමත්ව හලාවත, අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කාලයක් සේවය කර තිබුණි. විශේෂයෙන් ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට ප්‍රසිද්ධ ය. වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙකි.

මේ වනවිට ඔහුගේ මව හා බිරිඳ පවා සිටින්නේ කොරෝනා ආසාදිතවය. වෛද්‍ය ගයාන්ගේ පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති. වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අනතුරකින් මියගොස් තිබුණි. පාසල ඇරී නිවෙසට එනවිට සිදුවූ අනතුරකින් ඔහුට තම සහෝදරයා අහිමි වී තිබුණි. කොවිඩ් වෛරසයට ගොදුරුවීමෙන් පසු ගයාන්, ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. එහිදී ඔහුව ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කෙරුණි. ඒ ඔහුට කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ බැවිනි. ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිතර වෙමින් සිටි වෛද්‍ය ගයාන් අවසානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස අවසන් ගමන් ගියේය.

මෙරටදී කොවිඩ් රෝගය වැළඳී මියගිය පළමු වෛද්‍යවරයා වන්නේ ද ඔහු ය.

(ඡායාරූප උපුටා ගැනීම - ඔහුගේ ෆේස්බුක් පිටුවෙන්)


GalleryGalleryGalleryGalleryGallery