බටහිර ජැටියට ඉන්දියාව කැමති වේ.. අදානි සමාගම ගිවිසුමට සූදානම්…

India
By Thaya Feb 14, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

කොළඹ වරායේ බටහිර ජැටිය ඉදිකොට සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය නිල වශයෙන් සිය කැමැත්ත ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවට මෙම පණිවුඩය ඉන්දීය රජය වෙනුවෙන් ලබා දී ඇත්තේ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා විසින් බව තානාපති අංශ වැඩිදුරටත් පවසයි. ඉන්දියාව බටහිර ජැටිය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට එකඟ වී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි නැගෙනහිර ජැටියට විකල්ප වශයෙනි. ඉන්දියාවේ ‘අදානි’ සමාගම සහ ඔවුන්ගේ දේශීය හවුල්කරු වන (ජෝන් කීල්ස්) සමාගම ද මේ සඳහා දැනටමත් සිය අනුමැතිය පළ කොට තිබේ. ඉන්දීය රජයේ විදේශීය ආයෝජන හවුල්කරු වන ජපානය සමඟ ද දැන් මේ ගැන ඉන්දියාව සාකච්ඡාවක් ආරම්භ කර ඇත. එය ඵලදායී ලෙස අවසන් වනු ඇති බවද තානාපති අංශ කියයි.

නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබාදීමට තමන්ගේ විරෝධයක් නැතැයි වරාය වෘත්තීය සංගම් මෙන්ම නැගෙනහිර ජැටිය රැකගන්නට සටන් කළ මුරැත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ද මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. රජයේ අමාත්‍ය මණ්ඩලය ද බටහිර ජැටිය ඉදිකොට වසර 35කට පසු නැවත රජයට පවරා දීමේ (BOT) ගිවිසුමකට එළැඹීමට අවසරය ලබා දී තිබිණි. ඉන්දියාව බටහිර ජැටිය බාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ වරාය සම්බන්ධයෙන් දෙරට අතර හටගෙන තිබූ දේශපාලන උණුසුම පහව යනු ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.