බිරිඳ ඝාතනය කළ ආකාරය සැමියා පාපොච්චාරණය කරයි

Police
By Thaya Mar 30, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී ඉකුත් 25 වනදා තලවකැලේ පොලීසිය විසින් සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගෙන ඇති අතර එම කාන්තාව ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානිකරගෙන නොමැති බව අනාවරණය වී තිබේ. එම කාන්තාව සැමියා විසින් ඝාතනය කර ඇති බවත් පසුව ඇගේ සිරුර වෑන් රථයකින් රැගෙනවිත් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බවත් තලවකැලේ පොලීසිය පැවසීය. එලෙස ඝාතනය කර ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් ටොරිංටන් වතුයායේ පදිංචි වනරාජා සිත්තරවල්ලි නැමති 28 හැවිරිදි දෙදරු මවකි. ඉකුත් 23 වනදා සැමියා සහ බිරිඳ අතර නිවසේදී ආරවුලක් ඇති වී ඇති අතර, එහිදි සැමියා විසින් පොල්ලකින් බිරිඳගේ හිසට පහර දී ඝාතනය කර ඇත.

පසුව සැමියා විසින් පසුගිය 24 වනදා රාත්‍රියේ සිරුර වෑන් රථයකින් රැගෙන ගොස් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආගරපතන පොලීසිය කියා සිටියේය. සැකකාර සැමියා ආගරපතන නගරයේ වෑන් රථයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන අතර අදාඝ දිනයේ දී වෑන් රථයක් නිවසට රැගෙන විත් මළ සිරුර එහි දමාගෙන රැගෙන ගොස් ඇති බවත් දැනට සිදුකරන ලද මුලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.‍ මියගිය කාන්තාවට අවුරුදු එක හමාරක සහ අවුරුදු 04 ක් වයසැති දරුවන් දෙදෙනෙකු සිටී. කාන්තාවගේ මරණය පිළිබඳ සැකපිට මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සැකකරු විසින් ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය සිදුකර තිබේ. මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ සහ ආගරපතන පොලීසිය වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වයි