ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 64 දෙනෙකුට නිවාස ...

Monks
By Thaya Apr 05, 2021 07:31 PM GMT
Thaya

Thaya

Report

ජිනීවා යෝජනා පමණක් නොව රටට එරෙහිව කුමන ක්‍රමණ්ත්‍රණ ක්‍රියාත්මක වුවත් ස්වාමීන් වහන්සේලා රට සමග සිටිනවා නම් අපට ඉදිරියට යා හැකි බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. මෙරට පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා ගෙන ජනතා බදු මුදලින් යැපෙන ඇතැමුන් ජිනීවා යෝජනා හරහා ශ්‍රී ලංකාව පරාජය කරන්නට ඡන්දය ලබා දුන් රටවල ඒජන්තයින්ට ස්තූතිය පළ කර ඇති බවත්, එදා යහපාලනය ක්‍රියාත්මක කිරීමට පැමිණි අය අද ඒ තරමටම කදවුරු බදිමින් සිටියි. සම්බුද්ධ ශාසනය සහ ස්වාමීන් වහන්සේලා නොමැතිව රටට ඉදිරි ගමනක් නොමැත යන විශ්වාසය මත වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස නිවාස ඉදිකිරීම වෙනුවෙන් ආරම්භ කළ “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ පොළොන්නරුව දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙය පැවැත්විණි. අග්‍රාමාත්‍ය සහ නිවාස විෂයභාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි.

මෙම ව්‍යාපෘතිය සදහා පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 64 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර මීට සමගාමීව පූජ්‍ය මැදිරිගිරියේ ප්‍රේමානන්ද හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් මැදිරිගිරිය, ගජභාපුර ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමද මෙහිදී සිදු කෙරිණි. පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා උඩරට අමරපුර නිකායේ ජ්‍යෙෂ්ඨකාරක සභික මැදිරිගිරියේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජි නාහිමි, අමරපුර සද්ධම්මයුක්තික මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික හිඟුරක්ගොඩ රජඇලගම බෝධිරාජාරාමාධිපති පූජ්‍ය පිළියන්දල පියරතන නාහිමි, මින්නේරිය කොට්ටාශයේ උප ප්‍රධාන සංඝනායක මහා අඹගස්වැව ශ්‍රී සුගතාරාමාධිපති පූජ්‍ය ගණේගම නේමින්ද නාහිමි ඇතුළු මහාසංඝරත්නය මෙම උත්සවය සඳහා වැඩම කළහ.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලී හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ත කුමාර වික්‍රමසූරිය, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. අතුකෝරල, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සී.එම්. කරුණාරත්න යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරීහු රැසක් සහභාගි වූහ.

GalleryGalleryGallery