අවුරුදු 15-24 වයසේ තරුණයන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.
ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ඇති බවත්, මෙම 2024 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නව ආසාදිතයන් 500කට අධික පිරිසක් වාර්තා වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ඊයේ (27) ප්‍රකාශ කළා.
මේ වසරේ මෙතෙක් එච්අයිවී නව ආසාදිතයන් 500ක් “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” මැයින් දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය එසේ කියා සිටියේ ය.
එච්.අයි.වී. වෛරසය ආසාදිත පළමු රෝගියා 1987 හඳුනාගත් බවත්, මේ වනවිට එච්.අයි.වී. ආසාදිතයන් 5000ක් පමණ සායනවල ලියාපදිංචි වී ඇති බවත්, ඉන් ආසාදිතයන් 3500ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඇය අවධාරණය කළේ ය.
ඇය කියා සිටියේ, 2020 සහ 2021 වර්ෂ තුළ වසරකට නව ආසාදිතයන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් වාර්තා වූ බවත්, 2022 හා 2023 වර්ෂවල වසරකට නව ආසාදිත රෝගීන් දෙගුණයක් බවට පත්ව ඇති බවයි.
2023 වර්ෂය තුළ පමණක් නව ආසාදිත රෝගීන් 694 දෙනකු වාර්තා වී ඇති බවත්, මෙයින් 613 දෙනකු පිරිමි පුද්ගලයන් බවත් එය සියයට 88ක් බවත් ඇය ප්‍රකාශ කළා.
එසේම, 2018 වර්ෂයේ සිට වයස අවුරුදු 15ත් 24ත් අතර යෞවනයන් අතරේ එච්.අයි.වී. ආසාදනය කැපී පෙනෙන ලෙස වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය කියා සිටියේ ය.
2023 වසරේ නව එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 105 දෙනකුම වයස අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩවල තරුණ තරුණියන් බවයි ඇය කියා සිටියේ.
මේ වනවිට සමාජයේ එච්.අයි.වී. සමග පුද්ගලයන් 4700 දෙනකු ජීවත්වන බව ද ඈ කියා සිටියාය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය කියා සිටියේ 2024 දෙසැම්බර් 01 වැනිදා ලෝක ඒඩ්ස් දින පාගමන කොළඹ ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ මූලස්ථානය වෙත ගමන් කරන බවය.
මේ සම්බන්ධයෙන් දැනුවත් කරන තට්ටු දෙකේ බස් රථයක් කොළඹ නගරය පුරා ධාවනය කරන බව ද එසේම දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායන 40ක ලෝක ඒඩ්ස් දින සැමරුම් මාලාවක් ක්‍රියාත්මක කරන බව ද ඇය කීවාය.
එච්.අයි.වී. වැළැක්වීමේ ක්‍රම වශයෙන් විවාහය තෙක් ලිංගික සම්බන්ධතා ප්‍රමාද කිරිම, එක් විශ්වාසවන්ත සහකරුවකුට හෝ සහකාරියකට පමණක් ලිංගික සබඳතා සීමා කිරීම, ලිංගික එක්වීමකදී සෑම විටකම කොණ්ඩමයක් භාවිතා කිරීම, යනාදිය අනුගමනය කළයුතු බව ද ඇය පැවසුවාය.
මෙම මාධ්‍ය හමුවේදී ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අසන්ත්රි ප්‍රනාන්දු යන මහත්මීහු ද එක්ව සිටියහ.
You May Like This Video