“හෝමූස් වසා තෙල් නවත්වනවා” – ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි යුධ අනතුරු ඇඟවීම
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදය හා ඊශ්‍රායලයේ ප්‍රහාර දිගටම ක්‍රියාත්මක වුවහොත් මැදපෙරදිගින් තෙල් ලීටරයක් හෝ නැව්ගත කිරීමට ඉඩ නොදෙන බවයි.
මෙයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් අපනයන අවහිර කළහොත් එක්සත් ජනපදය මීට වඩා බෙහෙවින් ප්‍රබල ලෙස ඉරානයට පහර දෙන බවයි.
ඔහු Truth Social හරහා ප්‍රකාශ කළේ, එවැනි තත්ත්වයකදී ඉරානයට "වරක්වත් වඩාත් දැඩිව " පහර දෙන බවයි.
ඉරාන ආරක්ෂක අංශ එරට නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි ට සහාය දක්වමින් එක්රොක් වී සිටින බවත්, ඔවුන් ඉක්මනින් පසුබැසීමට සූදානම් නැති බවත් මතු වූ කනස්සල්ල හේතුවෙන් ලෝක මූල්‍ය වෙළඳපොළවල් උච්චාවචනය වී ඇත.
ට්‍රම්ප් පවසා ඇත්තේ, එක්සත් ජනපදය ඉරාන හමුදාවට බරපතල හානි සිදු කර ඇති අතර, තමා මුලින් නියම කළ සති හතරක කාලසීමාවට බොහෝ කලකට පෙර මෙම ගැටුම අවසන් වනු ඇතැයි ඔහු පුරෝකථනය කර ඇති බවයි. කෙසේ වෙතත්, "ජයග්‍රහණය" යනු කුමක්දැයි ඔහු තවමත් නිශ්චිතව අර්ථ දක්වා නොමැත.
ඊශ්‍රායලය පවසන්නේ තම යුද අරමුණ ඉරානයේ පාලන ක්‍රමය පෙරලා දැමීම බවයි.
වොෂින්ටනයේ අරමුණ ඉරානයේ මිසයිල හැකියාවන් සහ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම බව නිලධාරීන් ප්‍රධාන වශයෙන් පවසන නමුත්, ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ යුද්ධය අවසන් විය හැක්කේ තමන්ට අවනත වන ඉරාන රජයක් යටතේ පමණක් බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමන් බිඳ වැටී ඇති අතර, ලෝක තෙල් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.