දරුවන් 650,000කට පෝෂණ සහාය – “Sow and Grow” වැඩසටහන ඇරඹේ

Report

ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය දේශීය බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, ලෝක ආහාර වැඩසටහන,කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහ ශ්‍රී ලංකා රජය එක්ව පස් අවුරුදු “Sow and Grow” සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහය ලැබෙන මෙම ව්‍යාපෘතිය මූලිකව අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ.

ව්‍යාපෘතිය හරහා දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම, තත්ත්වයෙන් උසස් සහ විශ්වාසදායක බඩ ඉරිඟු සැපයුමක් තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

මේ යටතේ එම දිස්ත්‍රික්කවල ගොවීන් 7,500කට ආසන්න ප්‍රමාණයකට බඩ ඉරිඟු වගාව සඳහා සහයෝගය ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 650,000කට ආසන්න සංඛ්‍යාවක් සහ ගැබිනි හා කිරිදෙන මව්වරුන් 330,000කට ආසන්න සංඛ්‍යාවකගේ පෝෂණය වැඩිදියුණු කිරීම ඉලක්ක කර ඇත.

ආරම්භක උත්සවයට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ලෝක ආහාර වැඩසටහනේ දේශීය නියෝජිත හා අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ දේශීය අධ්‍යක්ෂ ලී යූ ලී මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන්, ලෝක ආහාර වැඩසටහන නියෝජිතයින් සහ ගොවි නියෝජිතයින් එක්ව සිටියහ. 

ඉන්ධනවලට උපරිම පාලන මිලක්

ඉන්ධනවලට උපරිම පාලන මිලක්

මත්ද්‍රව්‍ය හා අවි රැගත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය හා අවි රැගත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට