තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්
ලෝකයේ විවිධ ප්‍රදේශවල මතුව ඇති යුදමය තත්ත්වය මත ගෝලීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා නැවතත් වේගවත් වෙමින් පවතී. පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීන උග්‍ර වූ යුද ආතතීන් සහ දැනට පවතින රුසියාව-යුක්රේන යුද්ධය ආදිය මෙම ගෝලීය ආරක්ෂාව යන මාතෘකාව හිස එසවීමට හේතුවක් වී ඇත.මේ වනවිට ලෝකයේ ජනප්‍රියම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ "බෝල්කන්හි නොස්ට්‍රඩාමස්" ලෙස හඳුන්වන අනාගතය කීමට හැකි යයි විශ්වාස කරන බල්ගේරියානු බාබා වන්ගා, 2026 දී තුන්වන ලෝක යුද්ධය පුපුරා යන බවට අනතුරු ඇඟවූ බව කියන සිදුවීමයි.

කෙසේ වෙතත්, ඇය 5079 වන තෙක් ලෝකය අවසන් නොවන බවට අනාවැකි පළ කළ බවටද තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ 2026 ලෝක යුද්ධය සිදුවුවද එම ව්‍යසනකාරී යුද්ධය මගින් මානව වර්ගයාගේ අවසාන පරිච්ඡේදය සනිටුහන් නොකරන බවයි. නමුත් සමාජය බිඳවැටීමේ ලක්ෂ්‍යයකට ආසන්න වෙමින් පවතින බවත් එය "ඕනෑවට වඩා දුර ගොස් ඇති" බව ඉක්මනින් වටහා ගනු ඇති බවත් බාබා වන්ගා අනතුරු ඇඟවා ඇත.
1911 දී වැන්ගෙලියා පාණ්ඩේවා ගුෂ්ටෙරෝවා ලෙස උපත ලැබූ ඇය, 9/11 ප්‍රහාර සහ COVID-19 වසංගතය වැනි සිදුවීම් පුරෝකථනය කළ බවට ඇයගේ අනුගාමිකයින් විසින් ප්‍රකාශ කරනු ලැබේ. ජනප්‍රිය අනාගතය කියවන්නියක් වූ දෘශ්‍යාබාධිත බල්ගේරියානු බාබා වන්ගා 1996 දී වයස අවුරුදු 85 දී මිය ගියාය. බාබා වන්ගාගේ අනාවැකිය දශක ගණනාවක් පැරණි නමුත් දැන් එය නැවත ජනප්‍රිය වීම තුලින් පෙනී යන්නේ ලෝකයේ අවිනිශ්චිතතාවයක් පවතින විට මිනිසුන් පැරණි අනතුරු ඇඟවීම් සහ අනාවැකි කෙරෙහි උනන්දුවක් දක්වන බවයි.බාබා වැන්ගාගේ තුන්වෙනි ලෝක යුද්ධය හා සම්බන්ධ අනාවැකියේ සමහර අනුවාදයන් පවසන්නේ මැද පෙරදිග සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල තත්ත්වයන් නරක අතට හැරී තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි යැයි ඇය අදහස් කළ බවයි.

බාබා වැන්ගාට අමතරව යුරෝපීය ලෝකය තුල තවත් ජනප්‍රිය අනාගත කියවන්නකු වන නොස්ට්‍රඩාමස් පිළිබදවද මේ දිනවල කතාබහ පැතිර යයි. 1500 ගණන්වල ජීවත් වූ ප්‍රංශ ජ්‍යෝති ශාස්ත්‍රඥයෙකු සහ වෛද්‍යවරයෙකු වන නොස්ට්‍රඩාමස් විසින් රචනා කරන පද පොත් මගින් ප්‍රධාන ගෝලීය කැලඹීම් පුරෝකථනය කල බවද පුවත් වාර්තා වේ. ඇතැම් කියවීම්වලට අනුව, මෙම වසරේ ප්‍රමුඛ පිරිමි චරිතයක් ඝාතනය කිරීම හෝ පාලන තන්ත්‍රයක් අස්ථාවර කළ හැකි දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවිය හැකි යැයි ඔහු පැවැසූ බව තොරතුරු වාර්තා වේ.තවත් පදයක් මාස හතක “මහා යුද්ධයක්” පිළිබඳ අනතුරු ඇඟවීමක් ඔහු කර ඇති බව සමහරුන් විසින් අර්ථකථනය කර ඇත. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගීම සහ 9/11 ප්‍රහාර වැනි සිදුවීම් නොස්ට්‍රඩාමස් පුරෝකථනය කළ බව ආධාරකරුවන් විශ්වාස කරති.

නමුත් සැබෑ තත්ත්වය නම් බාබා වැන්ගා හා නොස්ට්‍රඩාමස් වැනි බොහෝ පුද්ගලයන් අතීතයේ ජිවත් වූ අතර ඒ සියලු දෙනා මේ ආකාරයේ නොයෙකුත් අනාගත වැකින් ඉදිරිපත් කර ඇත. ඉන් ඇතැම් වැකි අහඹු ලෙස සිදුවීම තුලින් බාබා වැන්ගා හා නොස්ට්‍රඩාමස් වැනි පුද්ගලයන්ට අනාගතය කියවිය හැකි බවත් ඔවුන් අනාගතය දන්නා බවත් ඔවුන් සාමාන්‍ය මිනිසුන්ට එහා ගිය විශේෂ පුද්ගලයන් බවත් ලෝකයා අර්ථකථනය කරයි. බාබා වැන්ගා හා නොස්ට්‍රඩාමස් විසින් අනිවාර්යෙන් සිදුවනවා යැයි පැවසූ ඇතැම් අනාගත වාක්‍ය සත්‍ය නොවී ඉටු නොවී පැවති වාර ගණන සත්‍ය වූ වාර ගණනට වඩා බොහෝ ඉහළය.මේ හේතුවෙන් මෙවැනි මිත්‍යා විශ්වාස හා අනාගත කියවිය හැකි යයි පැමිණෙන පිරිස් විශ්වාස නොකර නුවණට මුල් තැන දීම සුදුසුය.
