හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු "හබයාස් කෝපුස්" රිට් පෙත්සම අද (16) කැඳවනු ලැබීය. මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එය සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස එහිදී අභියාචනාධිකරණය නියම කළේය. එහිදී නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් මස 14 වනදා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගත් බව පෙත්සමේ සඳහන් වේ. ඉන් අනතුරුව ඔහු මේ දක්වා අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බව එම පෙත්සමේ දැක්වේ. ඒ අනුව අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.