ලංකාවට ගැලපෙන කොවිඩ් එන්නත මෙන්න.
මෙරටට ආනයනය කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තාවන කොවිඩ් ප්‍රභේදයට එරෙහිව 90%ක සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර ඇතැයි ජාතික පර්යේෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහළ ‘අරුණ’ට පැවැසීය. කෙසේ වෙතත් එම ඉහළ සාර්ථක අනුපාතය අත්කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම එන්නතේ මාත්‍රා දෙකම ලබාගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය. දකුණු ආප්‍රිකාවට ආනයනය කරන ලද ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත එරටදී සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකිවීම පිළිබඳව කළ විමසීමකදී මහාචාර්යවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.
‘‘දකුණු අප්‍රිකාවේ තියෙන්නේ වයිරසයේ වෙනත් ප්‍රභේදයක්. ඒ නිසා එහෙ රෝගීන්ට මේ එන්නත සාර්ථක වෙලා ඇත්තේ සීයට විස්සක ප්‍රතිශතයකින් පමණයි. ඒත් ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රභේදයට එරෙහිව සීයට අනූවක සාර්ථකත්වයක් තිබෙන බව අපි තහවුරු කරල තියෙනවා. නමුත් ඒ සඳහා එන්නතේ මාත්‍රා දෙකම ලබාදිය යුතුයි. එක මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අනතුරුව තියෙන්නෙ සීයට පනහක විතර සාර්ථකත්වයක් පමණයි.
ඒ වගේම දෙවැනි මාත්‍රාව සති හතරක් වගේ කාලයකින් ලබාදීම තමයි වඩාත් සුදුසු. දැනට විවිධ පර්යේෂකයන් කියනවා දෙවැනි එන්නත පැය දොළහකට පස්සෙ ලබාදුන්නොත් දීර්ඝ කාලීනව වැඩි සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන් කියලා. නමුත් පළවෙනි මාත්‍රාව ලබාදීල දෙවැනි මාත්‍රාව ලබාදෙන්න වැඩි කාලයක් ගැනීමෙන් ඒ අතරතුර යළි රෝගය ආසාදනයවීමේ අවදානමක් තියෙනවා. එන්නත ලබාගැනීමේදී මද්‍යසාර භාවිතය ගැනත් විවිධ අදහස් පළවෙනවා. කොහොම වුණත් එන්නත ලබාදීමට දින තුනකට පෙර සහ එන්නත ලබාගැනීමෙන් දින හතරක් ගතවනතුරු මද්‍යසාර භාවිතය අනුමත නොකිරීම සුදුසුයි කියන එක තමයි අපේ ස්ථාවරය’’