රෝහලක් කැළඹූ කොවිඩ් මළ සිරුර ආදාහනය කළ හැටි මෙන්න.

covid-19 cremated
By Thaya Dec 25, 2020 11:24 AM GMT
Thaya

Thaya

Report

ආන්දෝලනයට තුඩු දුන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඊයේ (24 වැනිදා) පෙරවරුවේ දඩල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට මෙකී මළ සිරුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගිලන් රථයකින් දඩල්ල ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මෘත දේහය මියගිය අයගේ ඥාතීන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලදී.

මෙසේ මියගොස් ඇත්තේ ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි (84) නමැති දේද්දුගොඩ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වී නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී ඉකුත් 19 වැනි දින මියගියා.

මොහු මිය යාමෙන් පසු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බවට තහවුරු විය. ඒ අනුව නිරෝධායන නීතිය යටතේ රජයේ නියමයන්ට අනුකූලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ අවසන් කටයුතු කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කළා.

භූමදානය කිරීම සඳහා අවසර ලබාදෙනවා නම් එම මෘත දේහය භාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනය කිරීමට නියෝග කරන්නේ නම් දේහය බාර නොගන්නා බවත් මියගිය අයගේ පුතකු හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී පවසා සිටියේය. ඒ අනුව ගාල්ල පොලිසිය මේ පිළිබඳ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කරනු ලැබීය. ඉන් අනතුරුව ලැබුණු අධිකරණ නියෝග මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් යටතේ මෘත දේහය ආදාහනය කිරීමට කටයුතු කරන ලදී.