හෙයියන්තුඩුව රත් කළ සොරකමේ අගමුල

Police
By Thaya Mar 26, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

කොල්ලකරුවන් දෙදෙනෙක් මුදල් පැහැරගත් බව පවසමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 23ක මුදලක් සහ රුපියල් 84,000ක චෙක් පතක් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යන අවස්ථාවක බැංකුව අසලදී කොල්ලකෑ බව ට අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කළ බවය. ඊයේ (25) දහවල් 2.00ට පමණ ඒ පිළිබඳ පැමිණිල්ල මීගහවත්ත පොලීසියට ලැබී තිබූණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ කොල්ලකෑම සිදුකර ඇති බවට පැමිණිලිකර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසූවේ, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පෙනීගොස් ඇත්තේ එම කොල්ලය පැමිණිලිකරුගේ සැලසුමක් බවය. ඒ අනුව අදාළ බෑගයේ එවැනි මුදලක් නොතිබී ඇති අතර එහි තිබී ඇත්තේ රුපියල් 50,000ක මුදලක් බවද අනාවරණය වී තිබේ. එම පුද්ගලයා විසින් විවිධ කටයුතු සඳහා අදාළ සමාගමේ මුදල් වියදම් කිරීමෙන් අනතුරුව එය පියවා ගැනීම සඳහා මේ ආකාරයට කොල්ලකෑමක් සැලසුම්කර ඇති බවට ද අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ පැමිණිල්ල කළ පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳගේ සහෝදරයෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බිරිඳගේ සහෝදරයා විසින් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා අදාළ බෑගය රැගෙන යෑමට කටයුතු කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම පුද්ගලයින් දෙදෙනා ද සොයා විමර්ශන ක්‍රියාත්මක අතර අදාළ යතුරුපැදිය හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.