මැදපෙරදිග අර්බුදය හමුවේ රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් - නොමිලේ විසාත්
මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, රට තුළ රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු, මෙන්ම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා ශ්‍රී ලංකා රජය විශේෂ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව අද (01) සවස ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, රැඳී සිටින සංචාරකයන්ගේ වීසා වලංගු කාලය 14 දිනකින් ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීම, අවශ්‍ය නම් තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව සලසා දීම, සහ සංචාරකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව සඳහා කඩිනම් වැඩපිලිවෙලක් සැකසීම යන තීරණ ගැනීම සිදු කර ඇත.
ඒ අනුව මීට අමතරව, ගුවන් ගමන් වසා දැමීමෙන් ඇතිවී ඇති ගමනාගමන අවහිරතා මැද, විකල්ප ගුවන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට තම රටවල් බලා ගමන් කිරීමේ හැකියාව සලසා දීම, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමද මෙහිදී අනුමත කෙරුණි.
මීට අමතරව රජය, සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු නිරතුරුව පවත්වා ගැනීම සඳහා රජ්‍ය ආයතන සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවන් සහ ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය 1912 ක්ෂණික ඇමතුම් අංකය හරහා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය 1989 ක්ෂණික ඇමතුම් අංකය හරහා සංචාරකයන්ට සහාය ලබා දීමට සූදානම්ව සිටියි.
එමෙන්ම සියලු තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට සූදානම්ව සිටින බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.