රන් මාල කොල්ලකෑමේ සිදුවීම් වැඩිවෙයි : මාලය කොල්ලකෑමට ආ සැකකරු කාන්තාවකට පහර දෙයි.

Police Robbery
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

පසුගිය පැය 24 ක කාලය තුලදී රන්මාල කොල්ලකෑමේ සිදුවීම් 04ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. අක්මීමන, හබරාදුව, කිලිනොච්චිය සහ වෙන්නප්පුව යන ප්‍රදේශවලින් මෙම රන් මාල කොල්ලකෑමේ සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පසුගිය කාල සීමාවේදී මේ ආකාරයේ රන් මාල කොල්ල කෑමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කර සිටියා. මහ මග ගමන් කරන විට විශේෂයෙන් මාර්ගය අයිනේ නවතා සිටින යතුරුපැදිකරුවන් සහ මාර්ගයේ ගමන් කරන විට අවස්ථා කිහිපයකදී තමන් අසලින් ගමන් කරනා යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර බොරලැස්ගමුව පොලිසිය විසින් රන් මාල කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පිළියන්දල, බොරලැස්ගමුව ඇතුළු අවට ප්‍රදේශවල සිදුවූ රන්මාල කොල්ලකෑම් සිදුවීම් 07 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. මෙම සැකකරු සතුව තිබී එසේ සොරකම් කරන ලද රන්මාල 4ක් සහ ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත. මේ අතර පසුගිය දෙසැම්බර් මස 31 වෙනිදා දෙහිවල, යුනියන් පෙදෙස පටුමගේ ගමන් කරමින් සිටි කාන්තාවකට පහරදී ඇයගේ ගෙල බැදී රන් මාලය කොල්ලකෑමේ සිදුවීමක් අසල පිහිටි CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. කෙසේ වුවත් එම කාන්තාව සඳහන් කළේ තම මාලය කොල්ලකෑ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.