ඉදිරියේදී මීට වඩා වෙනස් ආපදා ඇතිවෙන්න පුළුවන්..කුණාටු ගැන වේලාසන දැනුම් දෙනවා - විජිත
අනාගතයේදී ඇති විය හැකි වෙනස් ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට දියුණු උපකරණ හා මානව සම්පත යොදවා සූදානම් විය යුතු බව විදේශ හා සංචාරක ඇමති විජිත හේරත් මහතා අවධාරණය කර ඇත.
ඔහු මේ බව පෙන්වා දුන්නේ රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
එසේම ඇමතිවරයා මෙම ආපදා තත්ත්වය අනපේක්ෂිත වූ බව සඳහන් කළා. සුනාමියක් ඇති වන බව කිසිවෙකු දැන සිටියේ නැති සේම, මෙවැනි තත්ත්වයක් ද හදිසියේ ඇති වූ බව ඔහු පවසා ඇත.
එමෙන්ම සමහර ස්ථානවල 1957 දී ජලය ගැලූවාට වඩා වැඩි ප්‍රමාණයක් ජලය ඉහළ ගොස් තිබූ බවට වාර්තා වන බවත්, ඉදිරියේදී මෙයට වඩා වෙනස් ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙයට මුහුණ දීමට වැඩි දියුණු කළ උපකරණ සහ මානව සම්පත් යෙදවිය යුතු බවත් ඒ පිළිබඳව කිසිදු විවාදයක් නොමැති බවත්, රජය ඒ සඳහා ලෑස්ති බවත් ඔහු තහවුරු කර තිබෙනවා. එමෙන්ම රටේ ආර්ථික තත්ත්වය මත සමහර තීරණ රඳා පවතින බව ද ඔහු මෙහිදී පිළි ගෙන ඇත.
ඒ අනුව "බංකොළොත් වෙච්ච රටක ආපදා කළමනාකරණයට වෙන් කරන සල්ලි ප්‍රමාණය, ගන්න පුළුවන් උපකරණ ප්‍රමාණය" සීමා විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම පූර්ව දත්ත ලබාගැනීමට විවිධ උපකරණ අවශ්‍ය වුවත්, එම හැකියාව තවම 100%ක්ම රටට නොමැති බවටත් ඔහු අදහස් පළ කර ඇත.
එමෙන්ම පැවති ආපදා තත්ත්වයත් සමඟ සන්නිවේදනය බිඳ වැටීම ප්‍රධාන ගැටලුවක් වූ බව ඇමතිවරයා පැවසුවා.
ඒ අනුව ඔහු සඳහන් කළේ දුරකතන රැහැන් හෝ කුළුණු ක්‍රියා විරහිත වන අවස්ථාවකදී, සැටලයිට් දුරකථන තිබුණා නම්, මොරලිය වගේ සහ බදුල්ල වගේ දිස්ත්‍රික්කවල පවා සන්නිවේදනය කරගැනීමට තිබූ බවයි.
ඇමතිවරයා විශ්වාසය පළ කළේ සිද්ධිය වූ පසු මැදිහත් වීමේදී, සමහර පුද්ගලයන් අතරමං වී සිටින විට හෝ තම විපත දැනුම් දීමට නොහැකි වූ විට, සන්නිවේදන උපකරණ තිබුණා නම් ක්ෂණික මැදිහත්වීමක් සිදු කිරීමට හැකි බවයි.
එමෙන්ම ඇතැම් ස්ථානවල ජීවිත බේරා ගැනීමට නොහැකි වූයේ නාය යෑම් වැනි ක්ෂණික සිදුවීම් නිසා බවත්, උපකරණ තිබූ පමණින් ක්ෂණිකව සියලු ජීවිත බේරාගත නොහැකි බවත් ඇමතිවරයා පැවසුවා.
එහෙත් සිද්ධියෙන් පසු මැදිහත් වීමට ඇති හැකියාව දියුණු කරගත යුතු බවද ඔහු අවධාරණය කළා.
මේ අතර ආපදා තත්ත්වයකට මුහුණ දීමේදී දියුණු තාක්ෂණික උපකරණ සහ මානව සම්පත වැඩි කරමින් මෙම තත්ත්වය ශක්තිමත් කළ යුතු බව තේරුම් ගෙන ඇති බවත්, රජය එය ක්‍රියාත්මක කරන බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් එහිදී කියා ඇත.