උඹේ දුවත් බෑග් එකක එවනවා යැයි පවසා පියා ඉදිරියේ ම දුවව පැහැර ගනී
බෙල්ල නැතිව බෑග් එකක යවන බව කියා මන්නා පිහියක් පෙන්වා විසි තුන් හැවිරිදි තරුණියක පැහැරගෙන වෑන් රථයක දමා ගෙන යමින් සිටි බව කියන තිදෙනකු පෙරේදා රාත්‍රී මහව පොලිස් වසමට අයත් බල ප්‍රදේශයේ දී නිකවැරටි කොට්ඨාසය රථවාහන අංශයේ පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.පැහැර ගෙන යමින් සිටි තරුණිය ද ඔවුන්ගෙන් මුදා ගත් බව ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. අඩි 1 1/2 පමණ දිග අලුත්ම මන්නා පිහියක් ද වෑන් රථයේ තිබී පොලිස් භාරයට ගනු ලැබීය .අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 25 අතර වයසේ පසු වන ගල්නෑව පොලිස් වසමට අයත් කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.පැහැර ගෙන යමින් සිටිය දී මුදා ගත් තරුණිය ද කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. පැහැරගෙන ගිය තිදෙනා අතරේ කාලයක් සිට තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියන තරුණයකු ද සිටින බව පොලීසිය කියයි.
මෙම තරුණිය ඇඟළුම් කම්හලක සේවය කරන වකවානුවේ මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන ගොස් පසුව එය නතර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .මෙම සම්බන්ධය නතර කිරීමෙන් පසුව එම තරුණයාගේ නිතර නිතර හිරිහැර සිදු වීම නිසා දියණියගේ ආරක්ෂාව සඳහා ඇය ඥාති නිවසක නැවැත්වීමට පියා ඇයව යතුරු පැදියක නංවාගෙන යමින් සිටියදී ගල්නෑව පොලිස් වසමට අයත් කූර මිටිය හන්දියේ දී යතුරුපැදියට මඟ හරස් කර නැවැත්තූ වෑන් රථයකින් පැමිණි තිදෙනා තරුණියට තර්ජනය කර ඇති බව පොලීසිය කියයි.මන්නා පිහියක් අරගෙන වෑන් රථයෙන් බැස ආ තරුණිය ගේ හිටපු පෙම්වතා බව කියන තරුණයා " පොලීසියේ එකා කලා වගේ උඹේ දුවගේ බෙල්ල නැතිව බෑග් එකක යවනව " කියා දුවගේ පියාට තර්ජනය කළ කළ තරුණයන් තිදෙනා තරුණිය ඇද වෑන් රථයට දමාගෙන පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
මහව පොලිස් වසමට අයත් විලව හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිකවැරටිය කොට්ඨාස රථ වාහන අංශයේ පොලිස් කණ්ඩායමක් මෙම වෑන් රථය නතර කිරීමට සංඥා කර ඇති අතර පොලිස් කණ්ඩායම සිටි ස්ථානය සමීපයට වෑන් රථය පැමිණීමත් සමඟ " අනේ සර් මාව පැහැරගෙන යනවා මාව බේර ගන්න " යැයි කියා තරුණිය මර හඬ නගමින් කෑගසා ඇති බවද කියති. තරුණියගෙ කෑ ගැසීමත් සමඟම වෑන් රථය එකවර වේගය වැඩිකර අධික වේගයෙන් නොනවත්වා ධාවනය කිරීමට පටන් ගෙන තිබේ .පොලිස් කණ්ඩායම පොලිස් යතුරු පැදිවලින් කිලෝමීටර 3 පමණ දුරක් ලුහුබැද ගොස් බළල්ල සී. බී. සි හන්දියේ දී වෑන් රථය නතර කර ගෙන එහි සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තරුණියද මුදවා ගත්තේය .තරුණියගේ ගෙල කැපීමට යොදා ගැනීමට ගෙන ගිය බව කියන අලුත්ම මන්නා පිහියක් ද වෑන් රථයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා .සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ .