සේරුවාවිල රන්, තඹ හා යපස් නිධිය සම්බන්ධවගවේෂණයට විද්වත් කමිටුවක්...

Investigation
By Thaya Jan 22, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

සේරුවාවිල රන්, තඹ හා යපස් ඇතැයි සැළකෙන නිධිය සම්බන්ධව පුළුල් විද්‍යාත්මක ගවේශණයක් සිදු කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පැවැසීය.

අද දින (21) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම ඛනිජ සම්පත් නිධිය සම්බන්ධව 1970 දී වකවානුවේ දී එවකට පැවැති පැවැති තාක්ෂණය අනුව ගවේෂණයක් සිදු කර ඇති අතර එහි දී සේරුවාවිල ඛනිජ නිධීය තුළ යපස්, තඹ මෙන්ම යම් ප්‍රමාණයකට රත්තරන් ද පවතින බව සොයා ගනු ලැබ තිබේ.

නමුත් දැනට කැණීම් තාක්ෂණය ඉතාමත් දියුණු බැවින් පොළවේ මීටර් 250-300 දක්වා ප්‍රමාණයක් කැණීම් කිරීමට හැකියාව ඇති බැවින් මෙම නිධිය තුළ ඇතැයි හෙළීදරව් කරගෙන තිබෙන ඛනිජ සම්පත් සම්බන්ධව වැඩි තොරතුරු හෙළි කර ගත හැකි යැයිද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් පත් කෙරෙන මෙම කමිටුවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුළ සේනාරත්න, මහාචාර්ය එච්. ඩබ්. නවරත්න, ආචාර්ය ස්ටාලින් ප්‍රනාන්දු, ආචාර්ය බර්නාඩ් පෙරේරා, ආචාර්ය සී. එච්. කේ, ආර්. සිරිවර්ධන හා ආචාර්ය ඕ. කේ. දිසානායක යන මහත්වරුන් නම් කර තිබේ.මෙම විද්වතුන් එම කමිටුවට පත් කිරීම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම අප රටේ ස්වාභාවික ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ගත හැකි සියලු පියවර ගන්නා බව කී ඇමතිවරයා දැනට අමුද්‍රව්‍ය වශයෙන් විදේශ රටවලට අඩු මිලකට අපනයනය කෙරෙන ඛනිජ සම්පත් වලට වඩා අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් වැඩි මිලකට අප රටේම නිපදවා අපනයනය තුළින් වැඩි ආදායමක් ලබා ගත හැකි පරිදි කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කළේය.


Gallery