ප්‍රේමය නිසා වස පානය කර නුවර වැවට පැනලා

Police
By Thaya Apr 01, 2021 04:30 AM GMT
Thaya

Thaya

Report

දෙමාපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන වස පානය කිරීමෙන් අනතුරුව අනුරාධපුර නුවර වැවට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අවිවාහක තරුණියක් දියේ ගිලෙමින් සිටිය දී, අනුරාධපුර රණසේවා පුර පිහිටි යුද හමුදා කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු එම තරුණියගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා. තරුණිය ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අත්කම් නිවාස අසල වෙරුම්කුලම පාර කැකිරාව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණියක බව පසුව අනාවරණය කරගෙන ඇති බවත් සඳහන්. එම තරුණිය පැවැත්වූ පෙම් සබධතාව බිදවැටීම හා දෙමාපියන් සමග ඇතිවූ ආරවුලක් නිසා දිවිතොර කර ගැනීමට වස පානය කර නුවර වැවට පැන තිබෙන බව පැවසෙනවා.

අනුරාධපුර නගරයට පැමිණ ඇති මෙම තරුණිය වස කුප්පියක් පානය කර පුල්ලෙයාර් හංදිය ආසන්නයේ පිහිටි සොරොව්ව අසලින් දියට පැන ඇති අතර ඇය නුවර වැවේ ගැඹුරු දියට ගසාගෙන යද්දී වැව ආසන්නයේ සිටි පිරිසක් සිවිල් ඇදුමින් සිටි තරුණ නිලධාරින්ට තරුණියක් දියේ ගසාගෙන යන බව දන්වා තිබෙනවා. මෙම තරුණිය අඩි තිහක් පමණ ඈතට ගසා ගෙන යද්දී කිසිවෙකුත් තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් වී නැති අතර නිලධාරින් දෙදෙනා සිය ජීවිත පරදුවට තබා දියට පැන තරුණිය බේරාගෙන ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට බුද්ධි අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. බේරාගත් තරුණිය වස පානය කිරීම නිසා ආසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.