කොවිඩ් එන්නත මිනිසුන්ට විසයි ද...මෙන්න සම්පූර්ණ ඇත්ත කතාව.

Corona Virus Corona Vaccine
By Thaya Feb 09, 2021 10:04 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 සඳහා මෙරට මේ වන විට භාවිත කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා හෙවත් ‘‘කොවිෂිල්ඩ්ස්’’ එන්නතයි. මේ දිනවල ප්‍රමුඛ කණ්ඩායම් ලෙස සලකා සෞඛ්‍ය අංශ සේවකයන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට මෙම එන්නත ලබාදෙනු ලබයි. බොහෝ දෙනකුට මෙම එන්නත ලබා ගැනීමෙන් පසු සුළු අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වෙයි.

එහෙත් එන්නත ලබා ගැනීමට කිසිවකු බිය නොවිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ජාන උපදෙස් ලබාදීම සඳහා යොදාගනු ලබන්නේ රයිබෝ – නියුක් ලෙයිත් අම්ලය වෙනුවට, ද්විත්ව පොට ඩී ඔක්සි රයිබෝ’ නියුක් ලෙයිත් අම්ලයයි. මෙම එන්නත ලබාදීමෙන් පසු ඇඩිනෝ වයිරසය එන්නත් කළ සෛල මත ඇති ප්‍රෝටීන සමට එක්වෙයි. එවිට වයිරසය සෛලය තුළට ඇතුළුවීම සිදු කරන අතර ඇඩිනෝ වයිරසය වෙතට ඩී.එන්.ඒ. තල්ලු කිරීමක්ද සිදුවෙයි.

ජාන ඉංජිනේරු විද්‍යාවට අනුව ඇඩිනෝ වයිරසයට සමාන පිටපත් නිපදවීමේ හැකියාවක් නොමැත. නමුත් ඒ තුළට කොරෝනා වයිරසය ස්ඵටික කොටස ඇතුළු කරගෙන ආර්.එන්.ඒ. යන ජාන කොටස කොපි කරගනු ලබයි. එවිට එම්.ආර්. එන්. කොටස න්‍යෂ්ටියෙන් ඉවත්වී සෛලයේ අණු එහි අනුපිළිවෙළ කියවා ස්ඵටික් ප්‍රෝටීනය සකසනු ලබයි. මෙම සමහර ස්ඵටික ප්‍රෝටීන තුඩු සෛලයෙන් පිටතට යොමු කරනු ලබන අතර සමහර ස්ඵටික ප්‍රෝටීන බිඳ වැටී කැබලි සෛල මතුපිට තැන්පත් වෙයි. එවිට මෙම සෛල සිරුර තුළ වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන අතර මෙම වයිරසය ශරීරයේ අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රීය කරයි. එමගින් අවට ඇති ප්‍රතිශක්තිකරණ සෛලද සක්‍ර්‍රීය වෙයි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීමෙන් සිදුකරනු ලබන්නේ ඇඩි‌නෝ වයිරසය හරහා ප්‍රතිශක්තිකරණ පද්ධතියට තදින් ප්‍රතිචාරය කිරීමයි. මෙය ප්‍රතිශක්තිකරණ වර්ධනය සම්බන්ධව ඇති විශේෂත්වයක්ද වෙයි.

එසේම ප්‍රතිදේහ කොරෝනා වයිරසය ශරීරයට ඇතුළුවීම හරහා කොරෝනා වයිරසය ස්ඵටික සමග එකතුවී වයිරසය විනාශ කිරීම සඳහා සටන් කරගනු ලබන අතර, කොරෝනා වයිරසයේ ස්ඵටික ප්‍රෝටීන ශරීරයේ වෙනත් සෛලවලට සවිවීම වළකා වයිරසයෙන් ආසාදනය වීම වළක්වනු ලබයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත, ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ වාර්තා වී ඇත්තේ ඉතාම අවම මට්ටමකින් බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි. උදාහරණ ලෙස ළමුන්ට එන්නත් ලබාදීමෙන් පසු අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය දෙයක් සේම මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ ගැන එතරම් බිය නොවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මෙම එන්නතෙහි ඇතිවන අතුරු ආබාධ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. ‘‘මෙම එන්නත මගින් ශරීරය තුළට ආගන්තුක දෙයක් ඇතුළු කරන නිසා අතුරු ආබාධ ඇතිවිය හැකියි. එයින් පෙන්නුම් කරනු ලබන්නේ තමන්ගේ ශරීරය තුළ මෙම එන්නත ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒ කියන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තිය සෑදෙනවා කියන එක. ප්‍රතිශක්තිය ශරීරය තුළ වර්ධනය වන විට එය ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. ඒ යාන්ත්‍රණය තමයි මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ. උණ සෑදීම, ඇඟ රිදීම වැනි අතුරු ආබාධ එනවා කියන්නේ ඇඟ ඇතුළෙ එන්නත ක්‍රියාකරනවායි කියන එක. ලෝකයේ අතුරු ආබාධ නැති කිසිම එන්නතක් නැහැ’’ එසේම එන්නත ලබා ගැනීමෙන් පසු සුළු අාසාත්මික තත්ත්වයන් වාර්තා විය හැකි බවද වෛද්‍යවරයා පැවසීය.

‘‘භයානක දේ වෙන්නේ අාසාත්මිකතා ඇතිවීමයි. ශරීරයේ පලු දාලා එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඇතැමුන්ගේ ඇඟවල් මේ දේවල්වලට ප්‍රතිචාර දක්වන විදිහ අනුව එය සිදුවන්නේ. මෙතැනදී මහා පරිමාණයෙන් එලෙස අාසාත්මිකතා වාර්තා වී නැහැ. ඒ ගැන අපට සතුටුවිය හැකියි. ඇතැම් වේලාවල්වලදී සිහි නැතිවීම් වෙන්න පුළුවන්. මෙය ඕනෑම එන්නතක් ලබා ගැනීමෙන් පසු සිදුවිය හැකි දේවල්. මේ නිසා තමයි අපි එන්නත ලබා දීමෙන් පසු වෛද්‍යවරු ළඟ තියලා හදිසි ප්‍රතිකාර සේවා පිළියෙල කර තිබෙන්නේ. මෙම කොවිඩ් එන්නතේ සෞඛ්‍ය ආරක්ෂිත බව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

‘‘මේ වන විට අපේ රටේ මේ එන්නත එක්ලක්ෂ හැටදහස ඉක්මවා ලබා දීලා තියෙනවා. ඒ අනුව එම එන්නතෙහි ආරක්ෂිත භාවය සතුටුදායක මට්ටමක තිබෙනවා. එසේම විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ මෙම එන්නත ලබාගැනීමට පෙර සහ පසු විශේෂ පරිස්සම් වීමක් සිදුවීමට අවශ්‍ය නොවන බවය. එසේම සාමාන්‍ය පරිදි දෛනික චර්යාව පවත්වාගෙන යා හැකි බවත් ආහාර පාන ගැනීම සම්බන්ධවද විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.