ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා...

Sri Lanka Israel
By Thaya Apr 06, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරටේම එකඟතාවය පල වෙයි. කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ ගුවන් සේවා ඇරඹීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්‍යංශය අතර ප්‍රධානත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි. එහි ප්‍රතිඵලයක් අනුව ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂිතයි. දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව එළැඹෙන මැයි මස සිට සැප්තැම්බර් දක්වා වූ සංචරණ සමය තුළ ඊශ්‍රායල් සංචාරකයින් 2000 - 5000 අතර ප්‍රමාණයක් මෙරටේ සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 එසේම රුසියානුවේ එයරෝෆ්ලොට් ගුවන් සමාගම, සාජා සිට එයාර් ඇරබියා ගුවන් සමාගම, ඩුබායි සිට ෆලයිඩුබායි ගුවන් සමාගම, ඉන්දියාවේ විස්තාරා ගුවන් සමාගම හා කුවේටයේ ජසීරා ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන්සේවා මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතියි.

කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය ඇති වීමට පෙර (2019-2020 කාලයේ) ගුවන් සේවා සමාගම් 35ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් සේවා පවත්වා ගෙන ගොස් ඇත. ඉන් කටාර් රාජ්‍යයේ සිට කටාර් එයාර්වේස් සමාගම, ඩුබායි රාජ්‍ය යේ සිට එමිරේට්ස් ගුවන් සමාගම, ඩුබායි සිට එටිහාඩ් ගුවන් සමාගම,තුර්කියේ සිට ටර්කිෂ් එයාර්ලයින්ස් ගුවන් සමාගම, කුවේටයේ සිට කුවේට් එයාර්වේස් ගුවන් සමාගම, සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සමාගම, චීනයේ සිට චයිනා ඊස්ටර්න් ගුවන් සමාගම යුක්රේනයේ යුක්රේන් ගුවන් සමාගම, යුක්රේනයේ ස්කයිඅප් ගුවන් සමාගම, කසකස්තානයේ එයාර් අස්තානා ගුවන් සමාගම සහ ඕමානයේ සිට ඕමාන් එයාර්ලයින්ස් ගුවන් සමාගමත් මේ වන විට ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා ආරම්භ කර තිබේ.

එන්නත්කරණ වැඩපිළිවෙළත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම කෙරෙහි රටවල් සිය අවධානය යොමු කරමින් පවතියි. ශ්‍රී ලංකාවද ඒ අනුව යමින් සෞඛ්‍ය උපදේශ අනුව සිය සංචාරක ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් නැවත සුපුරුදු පරිදි ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.