ජිනීවා යෝජනාව සම්මත වීම හේතුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වයි

Geneva
By Thaya Mar 23, 2021 06:22 PM GMT
Thaya

Thaya

Report

අද දින ජිනීවා මානව හිමිකම් කොමොසමේදි ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් දිනේෂ් ගුණවර්ධන පහත අදහස් දැක්වූවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (23) පැවැත්වුණි. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය. තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

එම වාර්තාව අනුව මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කරනු ලැබීය. එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම් ද මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මඟින් හදුනාගෙන ඇති බවද එහි සඳහන් විය. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 25 වැනිදා රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කළේය. එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය,කැනඩාව, ස්විට්සර්ලන්තය,බෙල්ජියම,නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළ කළහ.