බොරැල්ල තැපැල් කාර්යාලයේ 4කට කොවිඩ් - ලිපි බෙදාහැරීමත් ප්‍රමාදයි

By Thaya Jan 03, 2021 01:29 PM GMT
Report

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, බොරැල්ල තැපැල් ස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක ලිපි බෙදාහැරීම් කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

තැපැල් සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකිරීම හේතුවෙන් සිදුවන තැපැල් සේවකයින්ගේ හිඟය මෙම තත්ත්වයට බලපා තිබේ.

අතිරේක සේවකයින් යොදවා තැපැල් බෙදාහැරීමේ කටයුතු සිදුකළ ද ලිපි බෙදාහැරිමේ කටයුතුවල යම් ප්‍රමාදයන් සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.