බස්නාහිර නැවත පාසල් ආරම්භ කරන දිනය මෙන්න - අධ්‍යාපන ලේකම්

Colombo Education Kalutara Gampaha Western Province
By Thaya Jan 21, 2021 02:08 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

ලේකම්වරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.

නව පාසල් වාරය වෙනුවෙන් බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශවල පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වි‍ශේෂ හමුවකින් අනතුරුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා එම අදහස් පළකළා.

“ ගොඩාක් ඉල්ලීම් තියෙනවා. විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය හා කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන් අඩු සංඛ්‍යාවක් ඉන්න නිසාත් ඒ උනන්දුව නිසාත් මේ පාසල් විවෘත කරලා දෙන්න කියලා. විදුහල්පතිතුමන් පළාත්, කොට්ඨාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන මෙන්ම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කැඳවලා දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාසයේ 28, 29 හෝ පෙබරවාරි 1 වන දා යන දින තුනෙන් එකක රැස්වීම් පවත්වලා තීන්දු තීරණ අරගෙන මොන පාසල් ද සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන්න පුළුවන් කියන නිර්දේශය ලබලා දෙන්න කියලා. ඒ නිර්දේශය පෙබරවාරි මාසයේ 3 වන දාට පෙර අනිවාර්යෙන්ම එවන්න ඕනේ. ඊට පස්සේ සෞඛ්‍ය ජනරාල්තුමා නිර්දේශ සමාලෝචනය කරලා අනුමැතියක් ලබාදෙයි මොන පාසල් ද පෙබරවාරි මාසයේ 15 වන විට ආරම්භ කළ හැක්කේ කියන එක. “

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරි 25 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.


ReeCha