රාජ්‍ය බැංකුවක සේවකයින් 70කට කොවිඩ්

GOVERMENT COVID 19 BANK GALL PATIENT
By Sewvandhi Apr 20, 2021 12:34 PM GMT
Report

රාජ්‍ය බැංකුවක සේවකයින් 70 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම බැංකුවේ කොළඹ, බදුල්ල, ගාල්ල, අම්බලන්ගොඩ සහ කෑගල්ල ශාඛාවලින් එසේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ අතර යළිත් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ සිදු කරන ලද PCR පරීක්ෂණ 130කින්ය. පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේ, අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවය. මොවුන් ඇරවුවල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් - 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අතරින් එක් ආසාදිතයෙක් අප්‍රේල් මස 11 වැනිදා හඳුනා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් වේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.