ඇමති ජී එල් ට, අධ්‍යාපන ලේකම්ට සහ මහාචාර්ය අමරතුංග ට අභියාචනාධිකරණයෙන් නොතීසි

Court
By Thaya Jan 28, 2021 08:13 PM GMT
Thaya

Thaya

Report

පැරණි සහ නව නිර්දේශ ලෙස කරන ලද වර්ගීකරණය මත සහ දිස්ත්‍රික් ක්‍රමය මත පදනම්ව විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස්, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසකට මාර්තු මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් අධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

2019 වසරේ ජීව විද්‍යා අංශයෙන් නව නිර්දේශය යටතේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ. සනුමි තරින්දයා ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීය.

පෙත්සම්කාර සිසුවිය කියා සිටීන්නේ 2019 වසරේදී විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වලට සිසුන් ඇතුළත් කර ගැනීම පැරණි සහ නව විෂය නිර්දේශ මත පදනම්ව සිදුකිරීම හේතුවෙන් නව නිර්දේශය යටතේ පෙනී සිටී සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවය.

මේ නිසා වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂා කළ තමන්ට එම අවස්ථාව මේ වන විට අහිමි වී ගොස් තිබෙන බවද පෙත්සම්කාරිය චෝදනා කළාය.

එබැවින් මෙම ක්‍රමය පදනම් කරගෙන විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත්කර ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත්කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

එමෙන්ම විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය මෙම පෙත්සම මගින් ඉල්ලයි.

එසේම තමන්ව කුමන හෝ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත්කර ගන්නා ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කාරිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.