සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත අද.

Covid-19 Parliament Corona Vaccine
By Thaya Feb 16, 2021 07:02 PM GMT
Thaya

Thaya

Report

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, නාරාහේන්පිටි පිහිටි යුද හමුදා රෝහලේදී එන්නත් ලබා දීම සිදු කෙරෙන බවයි. දින 4ක් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර කොරෝනා මර්දන එන්නත බන්ධනාගාර නිලධාරීන්ට ලබා දීම ද අද ආරම්භ කෙරේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවය.

මේ යටතේ නිලධාරින් 5100 ක් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීමට නියමිත බව ඔහු සඳහන් කළේය. මේ අතර ඇස්ටෝසෙනිකා කොවිෂීල්ඩ් එන්නත සාමාන්‍ය ජනතාව වෙත ලබා දීම ඊයේ ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. ඒ අනුව බස්නාහිර පළාතේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාව ඇතුළු අවදානම් කණ්ඩායම්වලට එන්නත් ලබා දීම ආරම්භ කළ බව කොවිඩ් රෝග මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.