ප්‍රධාන රෝහලකදී හදිසියේ මියගිය 02කට කොරෝනා.

Covid-19 Police Galle
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ එම රැඳවියාගේ ශරීරයේ තිබූ තුවාල නිසා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු 60 හැවිරිදි වුඩ්ලන්ඩ්වත්ත ගොනාපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙකී රැඳෙවියා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මේ අතර හෘද රෝගයකින් පෙළුණු කාන්තාවක් ඊයේ (22) කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එම කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙකී කාන්තාවටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව දිසා අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.