අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයා මාට්ටු
අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (9) අත්අඩංගුවට ගෙන ඇත.
කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පැමිණිලිකරු විසින් මිලදී ගත් නව යතුරුපැදිය පසුගියදා (8වැනිදා) අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ වරදට නීති මඟින් කටයුතු නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ඇති බව වාර්තා වේ.
එහිදී එම පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් රු.10,000ක මුදලක් ඉල්ලා, එපමණ මුදලක් පැමිණිලිකරුට ලබා දීමට නොහැකි බවට දන්වා සිටි අවස්ථාවේදී, සැකකරු අරක්කු බෝතලයක් ඉල්ලා තිබේ.
එය ලබාදෙන තෙක් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත වෙනුවට නිකුත්කර ඇති ලිපිය ඇපයට තබාගෙන, ඊයේ (9) පැමිණිලිකරුගෙන් මෙලෙස අල්ලස් වශයෙන් අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.
තවද අදාළ කොස්තාපල්වරයා ඊයේ ප.ව 3ට පමණ ධර්මපුරම් පොලිස් ස්ථානය අසල පිහිටි දුරකථන වෙළෙඳසැලක් අසල වසා ඇති ගොඩනැගිල්ල අසලදී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.