ප්‍රධාන ස්ථාන කිහිපයක CCTV කැමරා සියල්ල අක්‍රීය වෙයි.

Police Colombo
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Report

පිටකොටුව ප්‍රධාන බස්නැවතුම්ළපොළ, කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථානයේ සී.සී.ටී.වී කැමරා සියල්ල අක්‍රිය වී ඇතැයි අනාවරණය වේ. ප්‍රධාන බස්නැවතුම්පොළෙහි සී.සී.ටී.වී කැමරා 54ක් සවිකර තිබුණද ඒවා අක්‍රිය වී දැනට වසර දෙකකට අධික කාලයක් ගතව තිබේ. අලුතින් සී.සී.ටී.වී. සවි කිරීමට මිල ගණන් කැඳවා ඇතිමුත් ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් කැමරා සවි කිරීම ප්‍රමාද වී ඇත.

කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල කැමරා සවිකර තිබුණද දත්ත ගබඩා කිරීමේ යන්ත්‍ර නොමැතිවීම හේතුවෙන් පටිගත දර්ශන ලබාගැනීම ගැටලුවක් වී ඇත. ලැබෙන විවිධ පැමිණිලි අනුව මරදාන සහ කොටුව පොලිස් ස්ථානවල නිලධාරීන් ඒවා විමර්ශනයට මෙම ස්ථාන කරා ගියද කැමරා අක්‍රිය වීම මත තොරතුරු සොයා ගැනීමට අපහසු වී තිබේ. එමෙන්ම බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුමේද කැමරා පද්ධතියෙන් බහුතරයක් අක්‍රිය වී ඇත.

පොලිස් නිලධාරීන් පවසන්නේ තාක්ෂණය දියුණු මෙම යුගයේ සී.සී.ටී.වී. පද්ධති ස්ථාපිත කොට එම ජාලයන් පොලිස් ස්ථානවල සිටම නිරීක්ෂණය කිරීමට පහසුකම් සැලසීම වටිනා බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ඒ. අල්විස්ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, දූෂිත ක්‍රියා සම්බන්ධ පැමිණිලි රැසක් ලැබී ඇති අතර හැකි ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගන්නා බවය.